2025 ජනවාරි 01වැනි දිනෙන් ඇරඹෙන තෙවසරක ධූර කාලයක් සඳහා 2024 ජුනි 07 වැනිදා නිව්යෝර්ක් නුවර පැවති ඡන්ද විමසීමේ දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය (UNGA) විසින් එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කවුන්සිලයට (ECOSOC) ශ්‍රී ලංකාව තේරී පත්ව ඇත.

එහි දී ශ්‍රී ලංකාව ඡන්ද 182 ක් ලබාගෙන ඇති අතර සමස්ථයක් ලෙස ලබා ගත් හත්වන ඉහලම ඡන්ද සංඛ්‍යාව එය වේ.

සාමාජික රටවල් 189 න්, කලාපයෙන් 2 වැනි ඉහළම ඡන්ද ගණනක් ශ්‍රී ලංකාව ලබා ගෙන තිබේ. ශ්‍රී ලංකාව මීට පෙර 1985 – 1989 සහ 2006 – 2008 දක්වාඑක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කවුන්සිලයට සඳහා තේරී පත් විය.

ශ්‍රී ලංකාවට එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කවුන්සිලයේ සාමාජිකත්වය

එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කවුන්සිලයෙහි සාමාජිකයෙකු වශයෙන් ශ්‍රී ලංකාව දරිද්‍රතාවය තුරන් කිරීම, ආහාර සුරක්ෂිතතාව, සංවර්ධනය සඳහා මූල්‍යකරණය, අවදානමට ලක්විය හැකි රටවලට වඩා හොඳින් සහාය වීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය ප්‍රතිසංස්කරණය කිරීම, දේශගුණික යුක්තිය, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ කාන්තා කවුන්සිලයේ උත්සාහයන් සහ වැඩසටහන් සඳහා දායක වනු ඇත. එසේම ආබාධ සහිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම්, විද්‍යාව හා තාක්ෂණය සහ ඩිජිටල් තාක්ෂණයෙන් සවිබල ගැන්වීමට ද දායක වනු ලැබේ.

එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කවුන්සිලයෙහි සාමාජික රටවල් 54 සඳහා 2024 ජුනි 07 දින තේරී පත් වූ රටවල් 18 ට ආසියා පැසිෆික් කලාපයෙන් උස්බෙකිස්තානය, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ සෞදි අරාබිය ඇතුළත් වේ.

එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කවුන්සිලයෙහි බහුපාර්ශ්වික මැතිවරණයකදී ශ්‍රී ලංකාව ලැබූ අඛණ්ඩ 4 වැනි ජයග්‍රහණය මෙය වේ. මෙය විදේශ කටයුතු අමාත්‍යාංශය සහ එහි එතෙර රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල ප්‍රමුඛ ශ්‍රී ලංකාවේ රාජ්‍යතාන්ත්‍රික කටයුතු සඳහා වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි.

එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය මගින් 1945 වසරේ දී පිහිටුවන ලද එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කවුන්සිලය යනු එක්සත් ජාතීන්ගේ ප්‍රධාන ආයතන හයෙන් එකක් වන අතර ආර්ථික හා සමාජ ක්ෂේත්‍ර සම්බන්ධීකරණය කිරීම, ජාත්‍යන්තර සහයෝගීතාවය සහ සංවර්ධනය මෙන්ම කරුණු සම්බන්ධීකරණය කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ පද්ධතිය තුළ තිරසාර සංවර්ධන ඉලක්ක සම්බන්ධයෙන් කේන්ද්‍රීය වේදිකාව ලෙස කටයුතු කරයි.

Share.

Comments are closed.