ඉන්දීය මහමැතිවරණයට පසු ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණය ලෙස සැලකෙන යුරෝපා පාර්ලිමේන්තු මැතිවරණය ඊයේ නිමාවට පත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. දින 4ක් පුරා යුරෝපයේ රටවල් 21ක මිලියන 370කට වැඩි ඡන්දදායකයන් පිරිසක් සිය ඡන්දය භාවිත කළ යුරෝපා පාර්ලිමේන්තු මැතිවරණය මෙවර පැවැත්වූයේ 10 වැනි වතාවටය.

සාමාජිකයන් 720දෙනකු තෝරා පත් කරගැනීම සඳහා පසුගිය 6 වැනිදා නෙදර්ලන්තයෙන් ආරම්භ වූ මෙවර මැතිවරණයේ දෙවැනි හා තුන්වැනි දිනවලදී සෙසු රටවල ඡන්දය පැවැත්වූ බවත්, ප්‍රංශය, ජර්මනිය, පෝලන්තය සහ ස්පාඤ්ඤය ඇතුළු රටවල වැඩිම ඡන්දදායකයන් පිරිසක් සිය ඡන්දය භාවිත කරනු ලැබුවේ ඊයේ දිනයේදී බවත් වැඩිදුරටත් වාර්තා වේ. යුරෝපා පාර්ලිමේන්තු ඡන්ද විමසීම ඉතාලියේ දෙදිනක් පුරා පැවැති බව ද සඳහන් වේ.

අවසන් වරට ඡන්දය පැවැති 2019 වසරේදී යුරෝපා පාර්ලිමේන්තුවේ නායිකාව ලෙස පත් වූ යුරෝපීය ජනතා පක්ෂ සමූහයේ උර්සුලා වොන් ඩර් ලියෙන් මෙවර සිය දෙවැනි ධුර කාලය අපේක්ෂාවෙන් පසුවන අතර, සමාජවාදී සහ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතිශීලී පක්ෂයේ නිකොලස් ෂූමිට් ඇතුළු ප්‍රබල අපේක්ෂකයන් රැසක් ඇය සමඟ සටනට පිවිසී සිටින බව ද වාර්තා වේ. යුරෝපා පාර්ලිමේන්තුවේ ආධිපත්‍යය පතුරුවාලීමට ඔවුන් ආසන 361ක බහුතරය ලබා ගත යුතු බව ද වැඩිදුරටත් සඳහන්ය.

Share.

Comments are closed.