මාංශපේෂීන් දිය කරමින්, ස්ට්‍රෙප්ටෝකොකල් ටොක්සික් ෂොක් සින්ඩ්‍රොම් Streptococcal Toxic Shock Syndrome (STSS) නමැති රෝගී තත්ත්වය ඇති කරන, බැක්ටීරියාව ආසාදනය වූ රෝගීන් ගණන 1,000 ඉක්මවා ඇතැයි ජපන් සෞඛ්‍ය අංශ කියා සිටී.

ස්ට්‍රෙප්ටෝකොකල් ටොක්සික් ෂොක් සින්ඩ්‍රොම් නමැති මෙම රෝගී තත්ත්වය ඇති කරන මාංශපේෂී දිය කරන නැතිනම් කා දමන බැක්ටීරියාව ඉතා දුර්ලභ එකක් නමුත් පසුගිය වසරේ සිට එය ජපාන වැසියන් අතරේ වේගයෙන් පැතිරීමට පටන් ගත් බව සඳහන්.

ජපන් වෛද්‍යවරුන්ට අනුව, මෙම බැක්ටීරියාව ආසාදනය වූ පසු උණ, සීතල ගතිය, මස්පිඬු වේදනාව, කැරකිල්ල සහ වමනය මූලික රෝග ලක්ෂණ වෙයි. ඉන්පසු උගුරේ තුවාල, අවයව අක්‍රියවීම, සිරුර ඉදිමීම, අඩු රුධිර පීඩනය ආදී රෝග ලක්ෂය ඉන්පසුව ඇතිවේ.

ස්ට්‍රෙප්ටෝකොකල් ටොක්සික් ෂොක් සින්ඩ්‍රොම් රෝගී තත්ත්වය ඇති කරන මෙම බැක්ටීරියාව ස්ට්‍රෙප්ටෝකොකල් කාණ්ඩයට අයත් ය. මෙම කාණ්ඩයේ බැක්ටීරියා මාරක වන බව වෛද්‍යවරුන් සඳහන් කරති.

මෙම බැක්ටීරියාව සිරුරට ඇතුළු වී මාංශපේෂී අතරේ පැතිරී රුධිරයට ඇතුළු වේ. ඒ මගින් බැක්ටීරියාවේ විෂ සිරුරට මුදා හරිනු ලබයි.

බැක්ටීරියා පැතිරීම වයිරස මෙන් වේගවත් නොවන බවත්, මෙම බැක්ටීරියාවේ වේගවත් පැතිරීම ගැන තමන් ද දැඩි අවදානයෙන් පසුවන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක් වේ.

පිරිසුදුකම පවත්වාගෙන යෑම, නිතර අත් සෝදා පිරිසුදු කිරීම, කැස්ස ඇතිවිට හෝ කිවිසුම් යද්දී නාසය සහ මුඛය ආවරණය කර ගැනීම ආදී යහපත් පුරුදු මගින් මෙම බැක්ටීරියාව ආසාදනය වීම වළක්වා ගැනීමට හැකිය.

මෙම බැක්ටීරියාවා ආසදනය වී පැය 48 ක් ඇතුළත රෝගියා අසාධ්‍ය තත්ත්වයට පත්වන බව ද සඳහන් වේ. මරණ සම්භාවිතාව 30% කි.

Share.

Comments are closed.