පුද්ගලයෙකු සතු පළමු දේපළ, යෝජිත කුලී ආදායම් බද්දෙන් නිදහස් කෙරෙන බවත්, එසේම මෙම බද්ද සාමාන්‍ය ආදායම් ලබන්නන් වෙත නොව ඉහළ ශුද්ධ ආදායම් ලබන්නන් වෙත පැනවෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (18) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කලේය.

සාමාන්‍ය ආදායම් ලබන කිසිදු පුද්ගලයෙකුගෙන් මෙම බද්ද අය නොකරන බවටත් ජනාධිපතිවරයා සහතික විය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

පාර්ලිමේන්තු ස්ථාවර නියෝග යටතේ රීති ප්‍රශ්නයක් මතු කරමින් ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව පිළිබඳ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීරණය පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට අවශ්‍ය බවයි.
එසේම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදී ඇති තීරණය කාන්තාවන්ගේ අයිතිවාසිකම්වලට මෙන්ම බුදුදහම ආරක්ෂා කිරීමට ද අභියෝගයක් එල්ල කරන ගැටළු සහගත තීරණයක් බව ද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් වැඩිදුරටත් පැවසුවේ,

“ගරු කථානායකතුමනි, ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව පිළිබඳ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව ඔබතුමා විසින් කියවනු ලැබූවා. එය ඔබතුමා විසින් මේ පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර තිබෙනවා. නමුත් එමඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 වැනි වගන්තිය යටතේ මෙම සභාවට ඇති බලතල උල්ලංඝණය වන බවත්, ඒ සඳහා අප තේරීම් කාරක සභාවක් පත් කළ යුතු බවටත් වන රීති ප්‍රශ්නයක් මතු කිරීමට මට අවශ්‍යයි.

2011 වසරේ සිට කාන්තා සවිබල ගැන්වීම සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාවය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් තිබෙනවා. මේවා 5 වන තිරසාර සංවර්ධන ඉලක්කය යටතේ සහ අප අත්සන් කර ඇති කාන්තා සම්මුතීන් මෙන්ම ගිවිසුම් ගණනාවක් යටතේ රජයට ඇති වගකීම් බවට පත් වෙනවා.

ඊටත් වඩා, කමලාවතී සහ වෙනත් අය එදිරිව පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව යන නඩුවේදි, ජාතික ප්‍රතිපත්තිය අමාත්‍ය මණ්ඩලයේ බල සීමාව තුළ සලකා බලා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අනුමත කරනු ලැබුවා.

එය පාර්ලිමේන්තුව විසින් සිදු කරනු ලැබූවක්. එය දේශපාලන කාරණයක්. ශ්‍රේෂ්ඨාධිකරණයට කිසිම අයුරකින් මේ පිළිබඳ තීන්දුවක් දෙන්න බැහැ. එවැන්නක් සිදු වුවහොත් ඔවුන් අපේ බල සීමාවට ඇතුළු වෙනවා.

දෙවනුව, කාන්තාවන්ගේ සමානාත්මතාවය සහ සමාජභාවය පිළිබඳ ප්‍රශ්නය මත ලබා දී ඇති නඩු තීන්දු විශාල සංඛ්‍යාවක් තිබෙනවා.

රත්නායක තරංගා ලක්මාලි එදිරිව නිරෝෂන් අබේකෝන් සහ පොලිස්පති නඩුවේදී මිනිසුන්ගේ අභිමානය සහ යහපැවැත්ම මූලික අයිතිවාසිකමක් ලෙස පිළිගෙන තිබෙනවා. ඊළඟට දස පුද්ගල විනිසුරු මඩුල්ල එදිරිව සරත් ජයසිංහ සහ තවත් අය පිළිබඳ නඩුව ද තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක හෝ එහි සංශෝධනවල අන්තර්ගත වටිනාකම් දැනගැනීමට ව්‍යවස්ථාවක භාවිතා වන පාඨය මත පමණක් රඳා සිටීම ප්‍රමාණවත් වන්නේ නැහැ.

ඒ හා සමානව, සමානාත්මතාවය පිළිබඳ සංකල්පය පාලනය කරන මූලික මූලධර්මය අසාධාරණය ඉවත් කිරීම බව සඳහන් කෙරෙන, කරුණාතිලක එදිරිව ජයලත් ද සිල්වා සහ වෙනත් අය යන නඩුව සම්බන්ධයෙන් ශිරාණි බණ්ඩාරනායක මහත්මිය විසින් ලබාදුන් විනිශ්චය තිබෙනවා. එය සමානාත්මතාවය ප්‍රතික්ෂේප කරන සහ එමඟින් වෙනස් කොට සැලකීමේ ක්‍රියාව දැඩි ලෙස තහනම් කර තිබෙනවා.

අවසාන වශයෙන්, අගවිනිසුරුවරයා විසින් ලබාදුන් දණ්ඩ නීති සංග්‍රහයේ සංශෝධනය පිළිබඳ විශේෂ තීරණය ද ඔවුන් නොසලකා හැර තිබෙනවා. මෙහිදී අපි කතා කරන්නේ කාන්තාවන් සවිබල ගැන්වීම සහ කාන්තාවන්ට සමානාත්මතාවය තහවුරු කිරීම පිළිබඳවයි.

නමුත් 5 වන තිරසාර සංවර්ධන ඉලක්කයට අනුව අනෙකුත් සුළු කොට්ඨාසයන්ට පවා භේදයකින් තොරව රජයේ සේවාවන් ලබාගැනීමේ හැකියාව පැවතිය යුතුයි. එය කෙසේ වෙතත් මූලික අයිතිවාසිකම් යටතේ අපට ලබා දී ඇති සාමාන්‍ය බලතල අනුව කටයුතු කළ යුතුයි.”

යනුවෙනි.

Share.

Comments are closed.

Exit mobile version