ලෝක ප්‍රකට Apple සමාගමේ වත්කම් අභිබවා යමින් ලෝකයේ වටිනාම සමාගම බවට “Nvidia” සමාගම පත්ව තිබේ.

Apple සමාගම ලොව වටිනාම සමාගම බව ප්‍රකාශයට පත්කර දින කිහිපයකට පසු මෙම නව වාර්තාව Nvidia සමාගමෙන් ඉදිරිපත් විය.
මේ අනුව Nvidiaසමාගමේ කොටස් වටිනාකම ඊයේ සියයට 3.5කින් ඉහළ ගොස් ඇත.

එහි අගය සටහන් වුණේ ඩොලර් 136ක් ලෙසය.
Nvidia සමාගම කෘත්‍රීම බුද්ධිය (AI) සඳහා භාවිත කෙරෙන මෙවලම් සඳහා අවශ්‍ය පරිගණක චිප් නිෂ්පාදනය කරනු ලබන සමාගමකි.
එම නිෂ්පාදන සඳහා ඇති ඉල්ලුම ශීඝ්‍රයෙන් වැඩිවෙමින් පවතින බවයි වෙළෙඳපොළ වාර්තා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේය.

ඒ අනුව Nvidia සමාගමේ වර්තමාන වටිනාකම ඩොලර් ට්‍රිලියන 3.34 කි. එය අමෙරිකානු බහුජාතික සමාගමක් වන අතර එහි මූලස්ථානය කැලිෆෝනියාවේ පිහිටා තිබේ.
මයික්‍රොසොෆ්ට්, මෙටා සහ ගූගල් වැනි තාක්‍ෂණික දැවැන්තයන්ගෙන් Nvidia සමාගමේ චිප්ස් සඳහා අධික ඉල්ලුමක් පවතින බව වාර්තා වේ.
Nvidia සමාගමේ කොටස් මිල 2023 වසරේ දී තුන් ගුණයකින් වැඩි වීය.

2024 වසරේ මේ දක්වා කාලය තුළ එය සියයට 182කින් පමණ ඉහළ ගොස් තිබීම විශේෂත්වයකි.

OpenAI’s ChatGPT වැනි (AI) මාදිලි ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය දත්ත මධ්‍යස්ථානවල භාවිත වන (AI) චිප් සඳහා වෙළඳපලෙන් සියයට 80ක් පමණ Nvidia ආයතනයෙන් පාලනය කරනු ලැබේ.
එහි කොටස් වෙලඳපොල ආරම්භයේ සිට (1999) Nvidia කොටස් සියයට 591,078 කින් ඉහළගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Nvidia එහි මුල් දශක කිහිපය පරිගණක ක්‍රීඩාවලට අවශ්‍ය චිප් නිෂ්පාදනය කෙරෙහි අවධානය යොමු කළ අතර මේ මොහොත වන විට එය ලෝකයේ දැවැන්තම සමාගම බවට පත්ව ඇත.

Share.

Comments are closed.