ශ්‍රී ලංකාවේ රෝහල් පද්ධතිය තුළ අත්‍යවශ්‍ය වශයෙන්ම තිබිය යුතු lidocaine නිර්වින්දන එන්නත බොහෝ රෝහල්වලට ප්‍රමාණවත් තොග නොලැබීම නිසා සාමාන්‍ය ශල්‍යකර්ම පවා සිදු කර ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි.

වත්මන් සෞඛ්‍ය අමාත්‍යවරයා බලයට පත් වී මාස අටකට අධික කාලයක් ගත වුවද බොහෝ ඖෂධවල හිඟය මේ දක්වා සමථයකට පත් කිරීමට අසමත්ව ඇති බවට වෘත්තීය සමිති චෝදනා කරති.

මෙම නිර්වින්දන එන්නතට ඉතා සුළු ශල්‍ය කර්මවල සිට ප්‍රධාන පෙළේ ශල්‍යකර්ම සඳහා නිර්වින්දන කටයුතු සඳහා භාවිතා වන බැවින් අත්‍යවශ්‍ය වශයෙන්ම තිබිය යුතු මෙම අවම නිර්වින්දන එන්නත පවා මේ වන විට රෝහල් පද්ධතිය තුළ නොමැති වීම බරපතල තත්ත්වයක් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයූම් ඒකක දත්ත පද්ධතිය පෙන්වා දෙයි.

මේ වන විට ඖෂධ සීයකට ආසන්න ප්‍රමාණයක හිඟයක් පවතින අතර රජයේ රෝහල්වල බාහිර රෝගී අංශවලින් ඖෂධ නිකුත් කිරීමේ කටයුතු ද ඉදිරි කාලයේදී ඖෂධ කිහිපයකට පමණක් සීමා කිරීම ගැන සෞඛ්‍ය අමාත්‍යාංශය අවධානය යොමු වී ඇති බව වාර්තා වේ.

Share.

Comments are closed.