මේ මස 26 වැනිදා සිට අගෝස්තු මස 11 වැනිදා දක්වා පැවැත්වෙන 33 වැනි ඔලිම්පික් ක්‍රීඩා උලෙළට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 5ක් සුදුසුකම් ලබා තිබේ. ප්‍රංශයේ පැරිස් නුවරදී මෙම උළෙල පැවැත් වේ.
බැඩ්මින්ටන් ක්‍රීඩක විරේන් නෙත්තසිංහ ඔලිම්පික් උලෙළට ඍජු සුදුසුකම් ලබාගත් පළමු ක්‍රීඩකයා විය. හෙල්ල විසිකිරීමේ ශූරී දිල්හානි ලේකම්ගේ හා මීටර් 800 කාන්තා ඉසව්වේ ශූරී තරුෂි කරුණාරත්න රෝඩ් ටු පැරිස් 24 ඔලිම්පික් සුදුසුකම් ලබා ගැනීමේ ලේඛනය අනුව ඔලිම්පික් ක්‍රීඩා උලෙළට සුදුසුකම් ලබා ගත්හ. මීට අමතරව පිහිනුම් ක්‍රීඩාවෙන් ඍජු සුදුසුකම් නොලැබූ රටවලට ලබාදෙන ‘වයිල් කාඩ්’ අවස්ථාව යටතේ කයිල් අබේසිංහ සහ ගංගා සෙනවිරත්න පැරිස් ඔලිම්පික් උලෙළට සුදුසුකම් ලබා ඇත.
ශ්‍රී ලංකාවට මලල ක්‍රීඩාවෙන් තවත් අවස්ථාවක් උදාවී ඇති අතර, එම අවස්ථාව මීටර් 400 ක්‍රීඩක අරුණ දර්ශනට හෝ මීටර් 100 ක්‍රීඩක යුපුන් අබේකෝන්ට හිමිවීමේ අවස්ථා පවතින බව සඳහන් ය. අඟල් 2 කින් ඔලිම්පික් අහිමි වී ගිය හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංගගේ අභියාචනය ද පොරොත්තු ලේඛනයේ පවතී.
රෝඩ් ටු පැරිස් 24 ඔලිම්පික් සුදුසුකම් ලබා ගැනීමේ ලේඛනය අනුව මීටර් 400 ඉසව්වෙන් ලොව 51 වැනි ස්ථානයේ පසුවන අරුණ දර්ශනට ඉදිරියෙන් සිටින ක්‍රීඩකයන් සිව්දෙනකු ඉදිරි දින කිහිපයේදී යම් හෙයකින් එම ලේඛනයෙන් ඉවතට ගියහොත් අරුණ දර්ශනට ඔලිම්පික් වරම් උදාවේ. පිරිමි මීටර් 400 ඉසව්වෙන් රෝඩ් ටු පැරිස් 24 ඔලිම්පික් සුදුසුකම් ලබා ගැනීමේ ලේඛනයේ මුල් ක්‍රීඩකයන් 48ට පමණක් ඔලිම්පික් ක්‍රීඩා උලෙළට යෑමේ අවස්ථා උදාවේ.
එලෙස අරුණ දර්ශනට අවස්ථාව උදා නොවුණහොත් මීටර් 100 ක්රීඩකයකුට ඍජු සුදුසුකම් නොලැබූ රටවලට ලබාදෙන ‘වයිල් කාඩ්’ අවස්ථාව යටතේ ඔලිම්පික් වරම් උදාවනු ඇත. එහිදී එම ඉසව්වේදී ඉදිරියෙන් සිටින යුපුන් අබේකෝන්ට අවස්ථාව උදාවන අතර, ඔහු පසුගියදා ආබාධයකට ලක්වීම හේතුවෙන් මේ මස 10 වැනිදාට පෙර තරගයකට සහභාගිවී යෝග්‍යතාව සනාථ කළ යුතු බවද වැඩිදුරටත් සඳහන් ය.