සංවර්ධනය උදෙසා හරිත හයිඩ්‍රජන් තාක්ෂණය ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. හරිත හයිඩ්‍රජන් වල අගය එකතු කළ නිෂ්පාදනයක් වන හරිත ඇමෝනියා, දීර්ඝ ගමනාන්තයන් වෙත ගැඹුරු මුහුද හරහා බල ශක්තිය ප්‍රවාහනය කිරීම සඳහා සාම්ප්‍රදායික පොසිල ඉන්ධන වෙනුවට භාවිත කළ හැකි පරිසර හිතකාමී විකල්පයක් ලෙස හඳුනා ගෙන තිබේ. 

බලශක්ති ප්‍රවාහනය සඳහා යොදාගත හැකි වාණිජ හරිත ඇමෝනියා සඳහා වන ඉල්ලුම ගෝලීය වෙළෙඳපොළේ සැලකිය යුතු ලෙස වර්ධනය වෙමින් පවතින බව රජය කියා සිටියි.

එම ඉල්ලුම 2030 වන විට ටොන් බිලියන ගණනක් දක්වා ඉහළ යනු ඇතැයි ද පුරෝකථනය කර තිබේ. ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්ති සම්පත් වලින් බහුල වීම සහ නැගෙනහිර – බටහිර නාවික මාර්ගයට ආසන්නයේ පිහිටීම වැනි සුවිශේෂ භූගෝලීය වාසි හේතුවෙන් හරිත බලශක්ති නිෂ්පාදකයෙක්, අපනයනකරුවෙක් සහ බලශක්ති කලාපීය කේන්ද්‍රස්ථානයක් වශයෙන් ස්ථාපනය වීම සඳහා වැඩි අවස්ථාවක් පවතින බව රජය කියයි .

ඒ අනුව හරිත හයිඩ්‍රජන් / ඇමෝනියා නිෂ්පාදනය සම්බන්ධයෙන් ඉදිරිපත් වන පුද්ගලික අංශයේ ආයෝජන යෝජනා ඇගයීමට ලක් කර අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස අදාළ ආයතනවල නියෝජනයන්ගෙන් සමන්විත ව්‍යාපෘති කමිටුවක් පත් කිරීම පිණිස ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය වශයෙන්  ජනාධිපතිවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

Share.

Comments are closed.