ශ්‍රී ලංකාව ලෝකයේ අනෙකුත් රටවලට සාපේක්ෂව සියදිවි නසා ගැනීම් අතින් ඉදිරියෙන් සිටින රටක් ලෙස සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අවධාරණය කරයි.
1996 – 1997 වර්ෂ වලදී ශ්‍රී ලංකාව ලෝකයේ සියදිවි නසා ගැනීම් වැඩිම රටක් ලෙස පැවතුණු බවත් වර්තමානය වන විට එම තත්වය යහපත් වූවත්, තවමත් සිය දිවි නසා ගැනීම් වලින් ඉදිරියෙන් සිටින රටක් ලෙස ශ්‍රී ලංකාව සැලකේ.

අමාත්‍යවරයා මේ බව අවධාරණය කර සිටියේ, ඊයේ (11) පස්වරුවේ කොළඹ රාමඩා හෝටලයේ පැවති විශේෂ උත්සවයකට සහභාගී වෙමිනි. සුමිත්‍රයෝ ආයතනය පිහිටුවා වසර 50 ක් පිරීම නිමිත්තෙන් මෙම විශේෂ උත්සවය සංවිධානය කර තිබිණි.

අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියේ,

“රටක් ලෙස, මෙම තත්වයට අප කණගාටු විය යුතු බවත්, සෞඛ්‍ය අමාත්‍යංශය ලෙස අනෙකුත් අංශ සමඟ සහයෝගීතාවයෙන් මෙම තත්ත්වය  යහපත් කර ගැනීමට ගත හැකි සියලු ක්‍රියාමාර්ගයන් ගන්නා බවත්ය.

සියදිවි නසා ගැනීම සදහා විශේෂයෙන්ම බලපාන හේතු සාධක ගණනාවක් තිබෙන බවද, සිහිපත්කල අමාත්‍යවරයා සිය දිවි නසා ගැනීම් වළක්වාලීමට විශාල දායතක්වයක් සුමිත්‍රයෝ ආයතනය මගින් ලබාදෙන බවද කීවේය.

ස්වේච්චාවෙන් අතිවිශාල පිරිසක් සේවය සපයන සුමිත්‍රයෝ ආයතනයට වසර 50 ක් පිරීම නිමිත්තේන් ඔවුන්ගේ සේවාව අගය කිරීමක් කළයුතු බවත්, කළ මෙහෙයට විශේෂ ස්තූතියක් ද, පිරිනැමිය යුතු බවද, වැඩිදුරටත් කියාසිටියේය.’

මෙයට සමගාමීව 11වනදා සිට 14 දින දක්වා “Prevent Suicide Connecting in a Disconnected World’’  යන්න තේමා කර ගනිමින් සිව් දින ජාත්‍යන්තර සමුළුවක්ද පැවැත්වෙන අතර ඒ සදහා රටවල් 15ක් නියෝජනය කරමින් 75 කට අධික විදේශීය ස්වේච්ඡා නියෝජිතයින් ද,මෙරට සුමිත්‍රයෝ ආයතනය තියෝජනය කරමින් 80 කට අධික ස්වේච්ඡා නියෙජිතයින් සහභාගී වේ.
බ්‍රිතාන්‍ය පුරවැසියකු වු ජෝන් ද මැල් මහත්මියගේ නිර්මාතෘත්වය මත 1974 වර්ෂයේ දී ආරම්භ කරන ලද සුමිත්‍රයෝ ආයතනයේ මුලික අරමුණ වන්නේ සියදිවි හානිකර ගැනීම වැළැක්වීම වේ. එම ආයතනයේ මුලික මෙහෙයුම වන්නේ මරණය වෙනුවට ජීවත්වීම තෝරා ගැනීමට සහය දැක්වීමයි. මානසික පීඩාව, බලාපොරොත්තු සුන්වීම ඇතුළු දිවිහානි කර ගැනීමට ඉවහත් වන සිතුවිලි වලින් පීඩාවිදින්නන්ට මානසික / චිත්තවේගිය සහනයක් ලබාදීම මෙම ආයතනය මගින් සිදු කරනු ලබයි. ලොවපුරා ව්‍යාප්ත වු බීෆ්‍රෙන්ඩ්ර්ස් සංවිධානයේ (Befriender’s Organization) ශාඛාවක් ලෙස මෙය ක්‍රියාත්මක වේ.

මෙම අවස්ථාවට, බීෆ්‍රෙන්ඩ්ර්ස් සංවිධානයේ (Befriender’s Organization) සභාපති Neil Hawkins,  සුමිත්‍රයෝ ආයතනයේ සභාපතිනිය සුරංජනී වික්‍රමරත්න, මහාචාර්ය තිළිණි රාජපක්ෂ යන මහත්ම මහත්මින් ද ඇතුළුව දේශීය විදේශීය නියෝජිතයින් පිරිසක් සහභාගීවී සිටියහ.

Share.

Comments are closed.