වෙරළ දූෂණය හා අනවසර ඉදිකිරීම් පාලනය කිරීමේ අරමුණ සහිතව මෙරට වෙරළ සම්පත් හා වෙරළ කළමනාකරණ සැලැස්ම යාවත්කාලීන කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඊට අදාල කැබිනට් පත්‍රිකාව කඩිනමින් ඇමති මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය.
1981 අංක 57 දරන වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කලමනාකරණ පනත යටතේ ශ්‍රී ලංකාවේ වෙරළ කලාප කලමනාකරණය කිරීම සදහා “ශ්‍රී ලංකා වෙරළ කලාප සහ වෙරළ කලමනාකරණ සැලැස්ම” පිලියෙල කර ක්‍රියාත්මක කරනු ලබයි. වසර පහකට වරක් මෙම සැලැස්ම යාවත්කාලීන කිරීම නීතිමය අවශ්‍යතාවයකි. 2024 වර්ෂයේදී ශ්‍රී ලංකා වෙරළ කලාප සහ වෙරළ කලමනාකරණ සැලැස්ම යාවත්කාලීන කෙරෙනුයේ ඒ අනුව බව ඇමතිවරයා පවසයි.

2024 වර්ෂයේදී සම්පාදනය කෙරෙන  ශ්‍රී ලංකා වෙරළ කලාප සහ වෙරළ කලමනාකරණ සැලැස්ම 2008 සහ 2018 වර්ෂයන්වලදී සම්පාදිත සැලසුම්වල ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය හා ක්‍රියාත්මක කිරීමේදී ඇති වූ මූල්‍ය, ආයතනික,  තාක්ෂණික සහ අනෙකුත් ගැටළු පිළිබද අවධානය යොමු කරමින් සම්පාදනය කෙරේ. ඒ අනුව වෙරළ තීර කලමණාකරණය, වෙරළබඩ පරිසර පද්ධති සංරක්ෂණය සහ තිරසර කලමනාකරණය, වෙරළබඩ දූෂණය පාලනය කිරීම, විශේෂ කලමනාකරණ ප්‍රදේශ, නියාමන යාන්ත්‍රණය (වෙරළබඩ සංවර්ධන කටයුතුවලදී අනුමැතිය ලබාදීමේ ක්‍රියාවලිය.) යන කරුණු පිළිබදව මෙහිදී විශේෂ අවධානය යොමු කිරීමට අපේක්ෂිතයි.

මෙම අධ්‍යයනයන් සිදුකිරීම ඒ ඒ විෂය ක්ෂේත්‍රයට අදාල විශේෂඥයන්ගේ ද, රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතනවල නිලධාරීන්ගේ ද සහභාගීත්වය යටතේ සිදු කෙරිණ. ප්‍රජා සංවිධාන හා මහජනතාවගේ අදහස් හා යෝජනාද සැලකිල්ලට ගෙන නව නීති සම්පාදනය සිදු කෙරේ.

Share.

Comments are closed.