හමාස් සංවිධානයේ දේශපාලන නායක ඉස්මයිල් හනියා ඝාතනය තමා කිසිවිටෙකත් අනුමත නොකරන බවද, එය තරයේ හෙළාදකින බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේය.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ එක්සත් ජාතික පක්ෂයේ පළාත් සභා හිටපු මහජන නියෝජිත හමුවේදී අදහස් දක්වමිනි.

මේ නිසා ගාසා අර්බුදයට විසඳුමක් දීම තවදුරටත් ගැටලුවක් වනු ඇති බවත්, මෙම ක්‍රියාව මැදපෙරදිග ප්‍රශ්න නැවත උත්සන්න කිරීමට ඉඩ ඇති බවත් ජනපතිවරයා ප්‍රකාශ කලේය.

මෙම කලාපයේ යුද්ධයක් ඇති වුණහොත් ඉන්ධන මිලට ප්‍රධාන වශයෙන් බලපෑම් කිරීම විශාල ගැටළුවක් බව ඔහු එහිදී අවධාරණය කළේය.
මැදපෙරදිග යම් ප්‍රශ්නයක් මතු වුවහොත් 1991 කුවේට් රාජ්‍යය ආක්‍රමණය කරන විට අප රට මුහුණ දුන් ආකාරයටම මැදපෙරදිග සිටින සියලුම දෙනා නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට සිදු වනු ඇති බවත්,එය රටට ආදායමක් අහිමි වීමට හේතු වන අතර එය නැගී එන ශ්‍රී ලංකාවට අපහසු තත්ත්වයක් විය හැකි බවත් ඔහු සඳහන් කර තිබේ.

මෙම තත්ත්වය කළමනාකරණය කිරීම සඳහා ඒකාබද්ධ වැඩපිළිවෙළක් ගැන සාකච්ඡා කිරීමට විදේශ ඇමැතිවරයාට උපදෙස් දී ඇති බවත් ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

Share.

Comments are closed.