ශ්‍රී ලංකාවේ ගුවන් ගමන් බලපත්‍ර මුද්‍රණය කිරීමේ පොත් අවසන් වීමත් සමග දෛනිකව නිකුත් කරන ගුවන් ගමන් බලපත්‍ර ගණන 250 කට සීමා වී ඇතැයි ආගමන විගමන දෙපාර්තමේන්තු ආරංචි මාර්ග දක්වා තිබේ.

එසේම දින වේලා වෙන්කර නොගනිමින් පැමිණෙන පාස්පෝට් අයැදුම්කරුවන් 30 දෙනකු සඳහා පමණක් පාස්පෝට් නිකුත් කිරීමටද පියවර ගෙන ඇත. ගුවන් ගමන් බලපත්‍ර e පාස්පෝට් ක්‍රමවේදයට සිදුකිරීමට ගත් තීරණයත් සමග මේ වසර සඳහා අවශ්‍ය ගුවන් ගමන් බලපත්‍ පොත් මිලදීගෙන නොමැත.

කෙසේ වුවද ජූලි මාසයේදී ලැබීමට තිබූ e පාස්පෝට් පොත් ඔක්තෝබරය දක්වා ප්‍රමාද වීම මත ආගමන විගමන දෙපාර්තමේන්තුව සතු පාස්පෝට් පොත් ප්‍රමාණය ශේෂ වීමට පටන්ගෙන තිබිණි. මේ හේතුවෙන් පාස්පෝට් නිකුත් කිරීම උපරිමයෙන් සීමා කිරීමට පියවරගෙන ඇත.

දෛනිකව පාස්පෝට් 1,300ක් පමණ මුද්‍රණය කළත් මේ වන විට එය 250ත් 300ත් අතර ගණනකට පහත වැටී ඇත.

ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය පසුගියදා සඳහන් කළේ හදිසි අවශ්‍යතාවක් නැතිනම් ඔක්තෝබරය දක්වා පාස්පෝට් අයැදුම් නොකරන ලෙසය. මේ හේතුවෙන් උද්ගත වී ඇති පීඩනකාරී තත්ත්වය මත ආගමන විගමන පාලක ජනරාල්වරයා සිය ඉල්ලා අස්වීම පවා ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත භාර දී ඇතැයිද සඳහන් ය.

Share.

Comments are closed.