ආසියානු රටවල් සමඟ සැසඳීමේදී ශ්‍රී ලංකාවේ විදුලි බිල තුන් ගුණයකින් පමණ ඉහළ අගයක පවතින බව ඇඩ්වොකාටා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ධනනාත් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය. එහිදී විදුලි ඒකකයක් නිෂ්පාදනය කිරීමට යන වියදම මෙන්ම විදුලිය ජනනය කරන කාලසීමාව ද සලකා බැලිය යුතු බවද සවස 6 සිට 11 අතර කාලයේ අධික විදුලිය පරිභෝජනයක් සිදුවන බැවින් ජල විදුලියට අමතරව දැවි තෙල්, ගල් අඟුරු වැනි බලාගාර ද ක්‍රියාත්මක කිරීම මත මෙලෙස ලංකාවේ විදුලිය ගාස්තුව අධික වී ඇති බවද ඔහු සඳහන් කළේය.

ලොව ඇතැම් රටවල විදුලි පාරිභෝගිකයන් සඳහා නව ක්‍රම හඳුන්වා දී ඇති අතර “ප්‍රී පේඩ්”  වැනි ක්‍රම මගින් පාරිභෝගිකයන්ට තම අවශ්‍යතාව අනුව විදුලිය ලබාගත හැකිය. එසේම ඔවුන්ට අධික විදුලි ගාස්තුවක් ගෙවන්නට සිදු නොවන බවද ඔහු පෙන්වා දී තිබේ.
විදුලිය සඳහා සුහුරු මීටර (Smart meters) හඳුන්වාදීම තුළින් පාරිභෝගිකයාට තම විදුලිය පරිභෝජනය අවම කරගත හැකි වන අතර එවැනි ක්‍රියාවලියක් මගින් පාරිභෝගිකයාට සවස 6 සිට 11 අතර කාලයේ තමන්ගේ විදුලිය පරිභෝජනය කළමනාකරණය කර ගැනීමට හැකිවන බැවින් විදුලි බිල ද අවම කරගත හැකි යැයි ඔහු කියා සිටියේය.

විදුලිබල මණ්ඩලය 2022 වසරේ රුපියල් බිලියන 298.2ක ශුද්ධ අලාබයක් ලැබුවද විදුලිය ගාස්තුව වැඩි කිරීම මත 2023 වසරේ රුපියල් බිලියන 61.2 ශුද්ධ ලාබයක් ලැබීය. විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කරන ආකාරයට ඔවුන් අය කරන්නේ විදුලි ඒකකයක් නිෂ්පාදනය සඳහා වැයවන පිරිවැයට වඩා සුළු මුදලකි. ධනනාත් ප්‍රනාන්දු මහතා පෙන්වා දෙන්නේ විදුලිබල මණ්ඩලයට තවදුරටත් විදුලිය ගාස්තුව පහත හෙලීමට හැකියාව පවතින බවයි.

Share.

Comments are closed.