රට තුළ දැනට ක්‍රියාත්මක ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ මොන යම් හෝ ආකාරයකින් ආපසු හැරවීමක් සිදුවුවහොත් පසුගිය වසර දෙකක කාලය තුළ අත්විඳි අර්බුදකාරී තත්ත්වය නැවත ඇතිවිය හැකි බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා කියා සිටියි.

ඒ මහතා මෙම අදහස් පළ කළේ කොළඹ පැවති ශ්‍රී ලංකා වෘත්තීය සංගම් සංවිධානයේ වාර්ෂික සමුළුව අමතමිනි.

”දැනට ක්‍රියාත්මක වෙමින් පවතින ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය, ආර්ථිකයේ මැදි කාලීන සහ දීර්ඝකාලීන වර්ධනයට අවශ්‍ය වන, එහි නොසැලෙන ස්ථාවරත්වයට ගොඩගැනීම සඳහා වූ පියවර වලින් සමන්විතය. මෙම ප්‍රතිසංස්කරණ කෙටි කාලීනව වේදනාකාරී වුවද, ආර්ථිකය තිරසර හා පරිපුර්ණ වර්ධන මාවතක් කරා යොමුකිරීම වෙනුවෙන් අත්‍යාවශ්‍ය බව ඔහු සඳහන් කලේය. දිගු කාලයක් පමා වී තිබූ මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීම සඳහා සියලු පාර්ශ්වයන්ගේ කැපවීම වැදගත් බවද ඒ මහතා අවධාරණය කර ඇත.

එවැනි උත්සාහයක් කොතෙක් ක්‍රියාත්මක වුවත් ඕනෑම දේශපාලනමය හෝ සමාජීය අවිනිශ්චිතතාවක් හෝ දැඩි ප්‍රයත්නයකින් ළඟා කරගත් ප්‍රතිඵල ආපසු හැරවීමක් සිදුවුවහොත්, ප්‍රතිංස්කරණ ක්‍රියාවලියට දැඩි පීඩනයක් එල්ල වනවා වගේම ආර්ථිකයේ අපේක්ෂිත ගමන් මඟ වෙනස් කර ආර්ථිකයට හානිකර නැවත ගොඩනැගිය නොහැකි අන්දමේ බලපෑමක් ඇති කර, පසුගිය වසර දෙකේදි අප අත්විඳි අන්දමේ ආර්ථික සහ සමාජීය අර්බුදයක් නැවත ඇතිවිය හැකියි.

වර්තමාන ස්වෛරීත්ව ණය අර්බුදය හමුවේ අතීතයේ මෙන් ඉහළ වැයකිරීම් සහ බදු අඩුකිරීම් මඟින් ආර්ථිකය වර්ධනයක් කරා යොමු කිරීම සඳහා රජයට කිසිදු මූල්‍ය අවකාශයක් නැහැ. මූල්‍ය සහ ණය තිරසරභාවයක් නැවත ස්ථාපිත කිරීම වර්තමානයේ මෙන්ම අනාගතය උදෙසා වු මූලික අවශ්‍යතාවයි.

Share.

Comments are closed.