කලින් දිනයක් සහ වේලාවක් ලබා ගෙන විදේශ ගමන් බලපත්‍ර ලබා දීම සඳහා සැලසුම් කළ ක්‍රමය අද සිට අත්හිටුවන බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.

ඒ අනුව පෙර පරිදිම පැමිණි අනුපිළිවෙළට දිනකට විදේශ ගමන් බලපත්‍ර 750 බැගින් නිකුත් කිරීමට තීරණය කර ඇතැයි ද අමාත්‍යවරයා දන්වා සිටියේය.

අමාත්‍යවරයා මෙම තීරණය ප්‍රකාශයට පත් කරන්නේ මුද්‍රණය නොකළ හිස් විදෙස් ගමන් බලපත්‍ර හිඟ වීම හේතුවෙන් දිනපතා රැස්වන පිරිසට දින ගණන් ආගමන විගමන දෙපාර්තමේන්තුව ඉදිරියේ ගත කිරීමට විසඳුමක් ලෙසය.

විදෙස් ගමන් බලපත්‍ර නිකුත් වීම සීමා වීමෙන් ඊයෙ (27) දිනයේ ද ආගමන විගමන දෙපාර්තමේන්තුව ඉදිරිපිට රැස්ව සිටි විශාල පිරිසක් අපහසුතාවයට පත් වී සිටියහ. ඇතැමෙක් දින තුනක් තිස්සේ එම ස්ථානයේ රැඳී සිටින්නේ ගුවන් ගමන් බලපත්‍රය ලබා ගැනීම සඳහාය.

මේ අර්බුදයට හේතු වී ඇත්තේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සතුව මේ වනවිටට ඇති හිස් විදෙස් ගමන් බලපත්‍ර ප්‍රමාණය සීමිත වීමය. මේ තත්ත්වය තුළ දිනකට නිකුත් කරන ගමන් බලපත්‍ර ප්‍රමාණය 350කට සීමා කර ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පැවසුව ද Online ක්‍රමය අහෝසි කර ඇමතිවරයා යෝජනා කර ඇත්තේ දිනකට ගමන් බලපත්‍ර 750ක් නිකුත් කිරීමය.

ආගමන හා විගමන පාලක ජෙනරාල්වරයා පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ දෙපාර්තමේන්තුව සතුව ඇති හිස් විදේශ ගමන් බලපත්‍ර ප්‍රමාණය සීමිත බවය.

Share.

Comments are closed.