ලියාපදිංචි කිරීම ප්‍රතික්ෂේප කරන ලද පුද්ගලයින් 41 දෙනෙකුට අයත් එකලස් කරන ලද වාහන ඔක්තෝම්බර් මස 31 වනදාට පෙර වහාම ලියාපදිංචි කිරීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය විසින් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා වෙත රිට් ආඥාවක් නිකුත් කර ඇත.

ඊට අමතරව එක් එක් පෙත්සම්කරුට රුපියල් 10,000/- ක නඩු ගාස්තුවක් ගෙවන ලෙසටද නියෝග කර ඇති බව වාර්තා වේ.

මෙම නියෝගය නිකුත් කර ඇත්තේ අභියාචනාධිකරණ විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් මහතාය. ආර්.එස්. ජමිල් ඇතුළු 42 දෙදෙනෙකු විසින් 2020 වසරේ මෙම පෙත්සම ඉදිරිපත් කර තිබූ අතර එහි වග උත්තරකරුවන් ලෙස එවක මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින්, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු පිරිසක් නම් කර තිබුණි.

එකලස් කරන ලද වාහන ලියාපදිංචි කරන ලෙස මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දුවක් ලබාදී ඇති බවටත්, එවැනි වාහන ලියාපදිංචි කිරීම සඳහා 2016 වසරේ නොවැම්බර් මස 09 වනදා අමාත්‍ය මණ්ඩල තීරණයක් ද ගෙන තිබූ බවටත් පෙත්සම්කරුවන් ප්‍රකාශ කර ඇත.

එවැනි නීතිමය පසුබිමක් තුළ තම වාහන ලියාපදිංචි කිරීම ප්‍රතික්ෂේප කිරීමට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා ගත් තීරණය නීතියට පටහැනි බව පෙත්සම්කරුවන් අදාළ පෙත්සම්වලින් සඳහන් කරති.

සියළු කරුණු සලකා බලා අභියාචනාධිකරණ විනිසුරුවරයා ප්‍රකාශ කර ඇත්තේ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා අත්තනෝමතික සහ අනීතික ලෙස අදාළ වාහන ලියාපදිංචි කිරීම ප්‍රතික්ෂේප කිරීම තුළින් පෙත්සම්කරුවන්ගේ නීතිමය අපේක්ෂාවන් උල්ලංඝනය වී ඇති බවයි.

Share.

Comments are closed.