නවීන විදෙස් ගමන් බලපත්‍රයක් ඔක්තෝබර් මාසයේ සිට අඩු මිලකට ලබා ගැනීමට ජනතාවට අවස්ථාව හිමි වන බව කැබිනට් ප්‍රකාශක ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (03) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී පැවසීය. දීර්ඝ කාලයක් ගමන් බලපත්‍ර සැපයූ ආයතනය හැර වෙනත් ආයතනයකින් ඩිජිටල්කරණ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම නිසා යම් පමාවක් සිදුව ඇති බවත් ඒ පිළිබඳ රජයක් ලෙස කනගාටුව ප්‍රකාශ කරන බවද හෙතෙම කීවේය. අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කලේ,

ව්‍යවස්ථාදායකය විසින් ආර්ථික පරිවර්තන පනතක් පාස් කරලා තිබෙනවා. ඒ අනුව තරගකාරී අපනයනාභිමුඛ වෙළෙඳපොළ ආර්ථිකයක් ඇති කරලා කාර්යක්ෂමතාව හා ඵලදායිතාව වැඩි කරන්න ඩිජිටල්කරණයට යා යුතුමයි. නැත්නම් රට ඉස්සරහට ගෙනියන්න බැහැ. නව තාක්ෂණික ඩිජිටල් ක්‍රමවේද නැතුව සිංගප්පූරුව වගේ රටකට ඇතුළු වෙන්නවත් බැහැ.
ඩිජිටල්කරණ හැඳුනුම්පතක් අනෙක් රටවල තිබෙන සම්මතයන්ට අනුව සකස් කරගෙන යන ගමන්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම් ප්‍රකාරව වඩා විනිවිදභාවයෙන් ටෙන්ඩර් කැඳවීම් හා ප්‍රසම්පාදන ක්‍රියාවලින් සිදුවිය යුතු නිසා දීර්ඝ කාලයක් ගමන් බලපත්‍ර සැපයූ ආයතනයෙන් හැර වෙනත් ආයතනයකින් ඩිජිටල්කරණ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම නිසා තමයි පමාව සිදුවෙලා තිබෙන්නේ. කැබිනට් මණ්ඩලයේදී මේ ගැන සාකච්ඡා කළා. එහිදී ඔක්තෝබර් මාසය වෙනකම් අපට තිබෙන හදිස්සියට ඒ රටවල පාස්පෝට් මුද්‍රණය කර ගන්න බැහැ. දියුණු තාක්ෂණික ක්‍රමවේද මත තමයි ගමන් බලපත්‍රයක් සකස් කරන්නේ.

ඒ ක්‍රියාවලියෙදී හදිසියේ එවැන්නක් මුද්‍රණය කර ගැනීමට ආයතනයක් නැති නිසා මේ ප්‍රසම්පාදන ටෙන්ඩර් කැඳවීමේ ක්‍රියාවලිවල ඇති වන විවිධ පමාවීම් නිසා ගමන් බලපත්‍ර හිඟයක් ඇතිවෙලා තිබෙන බව ඇත්ත. ඒ පිළිබඳ රජයක් ලෙස කනගාටු වෙනවා. කනගාටුව ප්‍රකාශ කරන අතරම කඩිනම් කර ගැනීම සඳහා ජනාධිපතිවරයා විෂය භාර ඇමැතිවරුනුත් මැදිහත් වෙලා ඒ අනුව ඩිජිටල්කරණය කළ මෙම ගමන් බලපත්‍රයට වඩා අඩු මිලකට ලබාගන්න පුළුවන් නවීන ගමන් බලපත්‍රයක් ඔක්තෝබර් මාසයේදී ලැබෙනවා. ඔක්තෝබර් වෙනකම් කෙටි කාලයකදී මෙවැනි හිඟයක් තිබෙනවා. “

Share.

Comments are closed.