දකුණු ලෙබනනයේ රාජකාරියේ නිරතව සිටින එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාව වහාම ඉවත් කරගන්නා ලෙස ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්ටෝනියෝ ගුටාරෙස්ගෙන් ඉල්ලීමක් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඊශ්‍රායල අගමැතිවරයා එම දැනුම් දීම කර ඇත්තේ පෙරේදා ඊශ්‍රාලය හමුදාවෙන් දකුණු ලෙබනනයට එල්ලවන දරුණු ප්‍රහාරවලින් එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ තවත් සෙබළකු තුවාල ලැබීමෙන් පසුවය. පසුගිය සතියේ සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාරවලින් එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ සෙබළුන් පස්දෙනකු තුවාල ලබා ඇති අතර, තවදුරටත් සිය නිලධාරීන් ආරක්ෂා කරගැනීමට නම් ඔවුන් වහාම දකුණු ලෙබනනයෙන් ඉවත් කරගන්නා ලෙස එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාට ඊශ්‍රායල අගමැතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාව දකුණු ලෙබනනයෙන් ඉවත් කරගන්නා ලෙස අවස්ථා කිහිපයකදීම ඉල්ලා සිටියත්, ඒ සියලු ඉල්ලීම් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ප්‍රතික්ෂේප කළ බවත්, ඔවුන් හෙස්බුල්ලා ත්‍රස්ත සංවිධානයේ මිනිස් පලිහක් වී ඇති බවත් ඊශ්‍රායල අගමැතිවරයා එරට කැබිනට් මණ්ඩලයට ප්‍රකාශ කළ බව ද වාර්තා වේ. වීඩියෝ පටයක් ඔස්සේ සිදු කර ඇති ඊශ්‍රායල අගමැතිවරයාගේ ප්‍රකාශය එරට අගමැති කාර්යාලයෙන් පෙරේදා මුදා හැර තිබූ බව ද සඳහන් ය.

Share.

Comments are closed.

Exit mobile version