වසර පහකට පමණ පෙර අත්තනෝමතික ලෙස විසුරුවා හැරී FCID හෙවත් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය නැවත බලාත්මක කර දූෂණ ලිපිගොනු කඩිනමින් විමර්ශනය කිරීමේ සූදානමක් පවතින බව නීතිය හා සාමය අමාත්‍යාංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. 

යහපාලන රාජ්‍ය සමයේදී කැබිනට් අනුමැතියෙන් පිහිටනු ලැබූ FCID ය ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වීමත් සමඟම එහි සිටි නිලධාරීන් 180 න් 19 දෙනෙක් හැරෙන්නට අනෙක් සියලුම නිලධාරීන් ඔහුගේ ආරක්ෂාවට යැයි කියා මාර්ග දෙපස රාජකාරියේ යොදවන්නට කටයුතු කලේය. ඒ අනුව දූෂණ ලිපිගොනු අල්මාරි වලට සීමා වූ අතර FCID ට නැවතීමේ තිත තැබිණි.

අනතුරුව ඒ සම්බන්ධයෙන් කොමිසමක් පිහිටුවා FCID සිදුකළ විමර්ශන නීති විරෝධී යැයි ප්‍රකාශ කරමින් ප්‍රධාන පෙළේ දූෂණ සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ ( මිග් යානා ගනුදෙනුව ආදි ) නිලධාරීන් පැය 24 ක් තුළදී යාපනයට මාරු කිරීමටද පියවර ගැනුණු අතර විමර්ශන නිලධාරීන් වාඩි වී සිටි පුටු පවා ග්‍රාමාරක්ෂක නිලධාරීන්ට ලබාදීම සිදුකෙරිණි.

එසේම FCID අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කෙළවරකටම යැවීමට කටයුතු කළ අතර ලිපිගොනු අතර තිබූ ඇතැම් ලිපිගොනු හොරු රැකීම සඳහා රජයේ ඉහළ ආයතනයක් ලවා වැසීමට හිටපු අධ්‍යක්ෂකවරයකු වන ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකු කටයුතු කර තිබූ අතර එහි රාජකාරී කළ නිලධාරීන්ට කෙනෙහෙලිකම් කර ඇත.

එලෙස හොරුන් රැකි එම නිලධාරියා මේ වන විට කොට්ඨාසයක් බාරව කටයුතු කරන නිලධාරියෙක්  බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

තවද එම අංශයේ සේවය කළ නිලධාරීන්ට කැබිනට් අනුමැතියෙන් මාසිකව ගෙවන ලද රුපියල් 3000/= ක මාසික දීමනාවද කපා හැරීමට කටයුතු කර තිබිණි.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්ව සිටියදී පියාගේ සොහොන රාජ්‍ය මුදල් වැය කර ඉදිකරන ලදැයි චෝදනා එල්ල කර නඩු පවරනු ලැබුවේ FCID සිදුකළ විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙසය.

හිටපු ජනාධිපති ලේකම්වරයෙකු ලලිත් වීරතුංග මහතාට විරුද්ධව සිල් රෙදි නඩුව ගොනුකරනු ලැබූවේ FCID විසින් සිදුකළ විමර්ශනයකිනි

දැනටමත් එහි එහි මූලාරම්භයක් ලෙස නිලධාරීන් කීපදෙනෙකු කැඳවා විශේෂිත දූෂණ ගොනු කීපයක වැඩ කටයුතු ආරම්භ කර ඇති බව දැනගන්නට ඇති අතර තව නොබෝ දිනකින් ආරම්භ වන මහ මැතිවරණයෙන් අනතුරුව එහි සේවය කරමින් සිටියදී විසුරුවා දැමූ දක්ෂ නිලධාරීන් නැවත එම සේවයට කැඳවා ඉතා සක්‍රීය ලෙස කඩිනමින් දූෂණ ගොනු විමර්ශනය කර වගකිව යුත්තන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරනු ඇතැයි දැනගන්නට ඇත.

ඒ සඳහා අවශ්‍ය මූලික සාකච්ඡාවන් මේ වන විට ඉහළ පෙළේ නිලධාරීන් අතර පවත්වා ඇති බවට වැඩිදුරටත් වාර්තා වේ.

Share.

Comments are closed.

Exit mobile version