හින්දු බැතිමතුන් මහත් ගෞරවයෙන් සමරන දීපාවලී දිනය අදට (31) යෙදී තිබේ.

විෂ්ණු දෙවිඳුන් නරගාසුරන් නමැති අසුරයා පරාජය කිරීම සිහිපත් කරමින් හින්දු බැතිමතුන් දීපාවලී සමරනු ලබයි.
තමන් ආලෝකය ලබා ගත් අයුරින් ලොව සියලු දෙනාට ද ආලෝකය දැකීමට ඉඩ සලසන්නැයි පරාජයට පත් නරගාසුරන් අසුරයා විෂ්ණු දෙවිඳුන්ගෙන් ඉල්ලීමක් කර ඇති බව වේද සාහිත්‍යයේ සඳහන් වේ.

හින්දු බැතිමතුන් මෙම දිනය සිහිපත් කර පහන් දල්වා ආගමික වතාවත්වල නිරත වන්නේ, ඒ ආලෝකය පරිද්දෙන් සියල්ලන්ගේ සිත් සතන් තුළ ආලෝකය පැතිරේවා යන ඒකායන ප්‍රාර්ථනය පෙරදැරිව ය.

අධර්මය පරදවා ධර්මය ජය ගැනීම සංකේතවත් කරමින් පහන් මාලාවක් දැල්වීම ද දීපාවලී දිනයේ තවත් චාරිත්‍රයකි.


මියගිය ඥාතීන් සිහිපත් කරමින් කෝවිල්වලට ගොස් ගිතෙල් පහන් දල්වන හින්දු බැතිමතුන් රස කැවිලි අනුභව කරමින් මෙම දිනය සතුටින් සමරනු ලබයි.

Share.

Comments are closed.

Exit mobile version