රටපුරා සාමකාමී මැතිවරණ ක්‍රියාවලියක් නිරීක්ෂණය වන බවත් එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුවත් සාමකාමී පශ්චාත් මැතිවරණ සමයක් අපේක්ෂා කරන බවත් මෙරටට පැමිණ සිටින ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයෝ පවසති. රටවල් දහයක් නියෝජනය කරමින් මෙරටට පැමිණ සිටින ජාත්‍යන්තර නිරීක්ෂකයෝ ඊයේ (12)කොළඹදී ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව ප්‍රකාශ කළහ.
මේ වන විට ශ්‍රී ලංකාවේ ඉතා සාමකාමී පූර්ව මැතිවරණ සමයක් නිරීක්ෂණය වන බවත් සාධාරණ සහ සාමකාමී මැතිවරණයකට මේ තත්ත්වය අත්‍යවශ්‍ය සාධකයක් බවත් ඔවුහු අවධාරණය කළහ. මැතිවරණ ප්‍රචාර කටයුතු, මැතිවරණය පැවැත්වීම, ඡන්ද පෙට්ටි ප්‍රවාහනය සහ ආපසු භාර ගැනීම, ඡන්ද ගණන් කිරීම, පශ්චාත් මැතිවරණ සමය ඇතුළු මැතිවරණ ක්‍රියාවලියට අයත් සියලුම අංග ඔවුන්ගේ නිරීක්ෂණයට ලක්වන බව නිරීක්ෂකයෝ පැවසූහ. සමාජ මාධ්‍ය, විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යවල හැසිරීම පිළිබඳවත් නිරීක්ෂකයෝ ඉතා සැලකිල්ලක් දක්වන බවත් ඔවුහු ප්‍රකාශ කළහ. කෙසේ වුවත් මැතිවරණය විෂයයෙහි සමාජය මාධ්‍ය භාවිතය පිළිබඳව සහ ක්‍රියාකාරිත්වය පිළිබඳව යම් යම් ගැටලු සහගත තැන් නිරීක්ෂණය වන බව ඔවුන්ගේ අදහස විය.
නිරීක්ෂණ කණ්ඩායම මැතිවරණයට අදාළ regulatory framework පිළිබඳව අධ්‍යයනය කරන බව ඔවුහු පැවසූහ. ඒ අනුව මැතිවරණයට අදාළ නීති රෙගුලාසි, අණ පනත් සාධාරණ සහ ආපක්ෂපාත මැතිවරණයක් පැවැත්වීම කෙරෙහි දායක වන ආකාරය පිළිබඳව අධ්‍යයනය කෙරේ. පසුගියදා ලංකාවේ නිමාවට පත් වූ ජනාධිපතිවරණය ඉතා සාමකාමී සහ සාධාරණ එකක් බවත් හෙට (14) පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය ද ඉතා සාමකාමීව සහ සාධාරණ ලෙස පැවැත්වෙනු ඇතැයි ඔවුන්ගේ අපේක්ෂාව බව සඳහන් කළහ.
පසුගියදා නිමාවට පත් වූ ජනාධිපතිවරණය ඉතා සාමකාමී සහ සාධාරණයි. බරපතළ ගනයේ පශ්චාත් මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණය වී නැහැ. නිමාවට පත් වූ ජනාධිපතිවරණය වගේම ඉදිරියේදී පවත්වන මහා මැතිවරණයද ඉතා සාමකාමී හා සාධාරණ එකක් වේවි. සාමකාමී පූර්ව මැතිවරණ සමයක් නිරීක්ෂණය වන බැවින් මහමැතිවරණයත් ඉතාම සාමකාමී හා සාධාරණ ලෙස පැවැත්වීමට හැකි වනු ඇත.
මේ වනතෙක් මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි අධ්‍යයනය කරන බවත් ඔවුහු පැවසූහ. එමෙන්ම මෙම පැමිණිලි පිළිබඳව ඊට අදාළ අංශ විසින් ගෙන ඇති තීන්දු සහ තීරණ පිළිබඳවත් අධ්‍යයනය කෙරේ. මැතිවරණ දිනයේදී ඡන්ද මධ්‍යස්ථාන ක්‍රියාකාරිත්වය, ඡන්ද දායකයා සහ ඡන්ද අපේක්ෂකයාගේ ක්‍රියා කලාපය පිළිබඳවත් අවධානය දක්වන බව වැඩිදුරටත් පැවසූහ.
තෝරා ගත් දිස්ත්‍රික්ක දහයක මැතිවරණය ක්‍රියාවලිය නිරීක්ෂණය කිරීමට ඔවුහු අපේක්ෂා කරති. ඒ අනුව ත්‍රිකුණාමලය, මාතලේ, පොලොන්නරුව, කොළඹ, මාතර, නුවරඑළිය, යාපනය, බදුල්ල, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්ක 10හි සමස්ත මැතිවරණ ක්‍රියාවලිය තම නිරීක්ෂණයට ලක්වන බව ද ඔවුහු පැවසූහ.