අමෙරිකාව විසින් සපයනු ලැබූ දිගු දුර මිසයිල භාවිත කරමින් යුක්රේන හමුදාවෙන් රුසියාවට ප්‍රහාරයක් එල්ල කළ බව රුසියාවේ ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම ප්‍රහාරය එල්ල වී ඇත්තේ රුසියානු – යුක්රේන යුද ගැටුම් ආරම්භ වූ 2022 පෙබරවාරි 22 වැනිදා සිට පෙරේදා වන විට දින දහසක් සම්පූර්ණ වූ දිනයේදී බව ද වාර්තා වේ. අමෙරිකාව විසින් සපයනු ලැබූ මිසයිල වලින් යුක්රේනයෙන් රුසියාවට ප්‍රහාර එල්ල වී ඇත්තේ පළමු වරට බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
රුසියාවේ බ්රයන්ක්ස් පළාතේ හමුදා කඳවුරකට එල්ල කරනු ලැබූ බව කියන එම මිසයිල 6කින් 5ක්ම සිය හමුදාව විසින් වෙඩි තබා බිම හෙළූ බවත්, ඉතිරි මිසයිලය එම මධ්‍යස්ථානයට අසලට පතිත වූ බවත් රුසියානු මාධ්‍ය වාර්තා කළේය. එම මිසයිල ප්‍රහාරයෙන් කිසිදු ජීවිත හානියක් සිදු නොවූ බව ද රුසියානු හමුදාව තහවුරු කළද, යුක්රේන හමුදාව ප්‍රකාශ කර ඇත්තේ රුසියාවේ කිලෝමීටර් 110ක පමණ දුරින් පිහිටි ආයුධ ගබඩාවකට එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් එම ආයුධ ගබඩාවේ විශාල පිපිරීමක් සිදුවූ බවය. කෙසේ වුවද එම ප්‍රහාරයට අමෙරිකාව විසින් සපයනු ලැබූ මිසයිල භාවිත කිරීම පිළිබඳ යුක්රේන හමුදාව කිසිදු ප්‍රකාශයක් සිදු කර නැති බවත් වැඩිදුරටත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.