ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර කාලසටහනකට අනුව ධාවනය වන ( Schedule Flight ) අඩු වියදම් (Budjet Air Line ) ගුවන් සේවාවක් අද (21) උදෑසන සිට ආරම්භ කරමින් ජෙට් ස්ටාර් (Jet Star) ගුවන් සේවයේ පළමු මංගල ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

ඒ අනුව අද උදෑසන 10.15 ට සිංගප්පූරුවේ සිට ජෙට් ස්ටාර් ගුවන් සේවයේ 3 කේ 333 දරන ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.

මෙම පළමු ගුවන් ගමන සදහා එයාර් බස් ඒ – 320 වර්ගයේ ගුවන් යානයක් යොදවා තිබූ අතර එයින් ගුවන් මගීන් 179 ක් සහ කාර්යය මණ්ඩලය ලෙස 06 දෙනෙකු ද පැමිණ සිටියහ.

මෙම ගුවන් යානය ජල ආචාර පවත්වා ( Water Salute ) කටුනායක ගුවන් තොටුපොළ වෙත පිළිගනු ලැබූ අතර ගුවන් තොටුපොළ තුළ දී උඩරට නර්තන ශිල්පීන් පිරිසක් විසින් සිය නර්තන දක්ෂතා දක්වමින් පිළිගැනීමට කටයුතු කර තිබුණි.

මෙම ගුවන් යානය සතියකට දින 05 ක් එනම් සදුදා, බදාදා සහ සෙනසුරාදා දින වල රාත්‍රී 10.30 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන මෙම ගුවන් යානා යළි එදින මධ්‍යම රාත්‍රී 11.30 ට සිංගප්පූරුව බලා පිටත්ව යාමට නියමිතය.

එමෙන්ම බ්‍රහස්පතින්දා සහ ඉරිදා දින වල උදෑසන 10.30 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන මෙම ගුවන් යානා යළි එදිනම දහවල් 11.30 ට සිංගප්පූරුව බලා පිටත්ව යාමට නියමිතය.

මෙම ගුවන් සේවය මගින් ශ්‍රී ලංකාවට පැමිණ ආපසු සිංගප්පූරුව බලා පිටත්ව යාම සදහා , ගුවන් ගමන් ගාස්තුව ලෙස රුපියල් 140,000 ක් අය කෙරෙන බව මෙම ගුවන් සේවයේ ගුවන් තොටුපොළ කළමනාකාරවරයා පැවසීය.

මෙම ගුවන් යානයෙන් අද දින දහවල් 11.30 ට ගුවන් මගීන් 178 දෙනෙකු සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය ලෙස තවත් 06 දෙනෙකු පිටත්ව ගොස් තිබේ.

Share.

Comments are closed.

Exit mobile version