ශ්‍රී ලංකාවේ අපනයන ආදායම තවදුරටත් ඉහළ නංවාලමින් එළඹෙන 2025 වසරේදී අමෙරිකානු ඩොලර් බිලියන 18.7ක අපනයන ආදායමක් ඉලක්ක වී තිබෙන බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පුරෝකථනය කර තිබේ.

මෙම පුරෝකථනය වෙළඳ භාණ්ඩ අපනයනයෙන් ඩොලර් බිලියන 14.54ක් සහ සේවා අපනයනවලින් ඩොලර් බිලියන 4.16කින් සමන්විත වන බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා පවසයි. මේ වසරේ පළමු මාස 10ක කාලයේදී භාණ්ඩ හා සේවා අපනයනයෙන් ශ්‍රී ලංකාව අමෙරිකානු ඩොලර් බිලියන 13.5ක ආදායමක් උපයා තිබෙන බව පෙන්වාදෙන ඒ මහතා මෙම අගය පසුගිය 2023 වසරේ පළමු මාස 10 තුළ ශ්‍රී ලංකාව උපයා තිබෙන අපනයන ආදායමට සාපේක්ෂව සියයට 7.19ක වර්ධනයක් බව ද සඳහන් කරයි.

මේ අතර 2024 වර්ෂයේ වාර්ෂික අපනයන ඉලක්කය අමෙරිකානු ඩොලර් බිලියන 16.4ක් වන අතර 2024 වසරේ පළමු මාස 10 තුළ එම වාර්ෂික ඉලක්කයෙන් සියයට 82ක් සම්පූර්ණ කර ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇති බව ද හෙතෙම කියා සිටියි. අද වන විට ශ්‍රී ලංකාවේ භාණ්ඩ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 12ක් සහ සේවා අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 3.5ක් පමණ වන නමුත් ඉදිරි වසර පහක කාලයේදී එම ආදායමේ විශාල වර්ධනයක් අපේක්ෂා කරන බව පවසන සභාපතිවරයා දේශපාලන ස්ථාවර බව සමඟ ආර්ථික ක්ෂේත්‍රයේ විශාල ප්‍රගතියක් ශ්‍රී ලංකාවේ අපේක්ෂා කළහැකි බව ද පෙන්වා දෙයි.

මේ වන විට ප්‍රධාන වශයෙන් භාණ්ඩ සහ සේවා අපනයනය ශ්‍රී ලංකාවෙන් සිදුවන බව සඳහන් කරන මංගල විජේසිංහ මහතා නව රජයේ අපේක්ෂාව අපනයන ආදායම ඉහළ නංවමින් රටේ ආර්ථික වර්ධනය වේගවත් කිරීම බව ද ඒ වෙනුවෙන් අවශ්‍ය සැලසුම් සකස්කර තිබෙන බව ද කියයි. එවැනි ඉලක්කයක් කරා ශ්‍රී ලංකාවේ අපනයන ආදායම රැගෙන යාම සඳහා මේ වන විට අධ්‍යයනය කරමින් තිබෙන බව පවසන සභාපතිවරයා එක් එක් ක්ෂේත්‍ර ඔස්සේ අපනයන ආදායම වැඩිකිරීම සහ නව නිෂ්පාදන අපනයනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම මේ සඳහා වැදගත් වන බව ද ප්‍රකාශ කරයි.

Share.

Comments are closed.

Exit mobile version