උපයනවිට ගෙවීමේ බද්ද අයකරන සීමාව 150,000 දක්වා ඉහළ දැමීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඊයේ (18) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
මේ පිළිබඳ වැඩිදුර අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසුවේ, 6%ක බද්දකට යටත් වන පරිදි පුද්ගල ආදායම් බද්දේ පළමු කාණ්ඩය රුපියල් ලක්ෂ 5 සිට රුපියල් ලක්ෂ 10 දක්වා ඉහළ නැංවීමට සංශෝධන ලබා ගැනීමට සමත්ව ඇති බවයි. ඒ අනුව ලක්ෂ එකහමාරක මාසික වැටුපක් ගන්නා කෙනෙකුගේ බදු 100%ක් නිදහස් වේ.

ලක්ෂ 2ක වැටුපක් ගන්න අයෙකුගේ බද්ද 71%කින් නිදහස් අතර ලක්ෂ දෙකහමාරක වැටුපක් ගන්න අයෙකුගේ බද්ද 61%කින් නිදහස්ය. ලක්ෂ තුනක වැටුපක් ගන්න අයෙකුගේ බද්ද 47%කින් නිදහස් වේ. ලක්ෂ තුනහමාරක වැටුපක් ගන්න අයෙකුගේ බද්ද 25.5%කින් නිදහස් බවද ඒ මහතා කියා සිටියේය.

ඒ අනුව වැඩි ආදායම් ලබා ගන්නා පුද්ගලයින්ට අඩු සහනයකුත්, අඩු ආදායම් ලබා ගන්නා පුද්ගලයින්ට වැඩි සහනයකුත් ලැබෙන ලෙස උපයනවිට ගෙවන බද්ද සංශෝධනය කර ගැනීමට සමත් වූ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කර ඇත.

Share.

Comments are closed.

Exit mobile version