යුධමය තත්ත්වයෙන් අත් හැර දැමුණු යාපනය ලුණු ලේවායයන් දෙක යළි ලුණු නිෂ්පාදනයට යොදා ගැනීමට පියවර ගන්නා බව හම්බන්තොට ලංකා ලුණු සමාගමේ නව සභාපති ටී. නන්දන තිලක මහතා පවසයි. ඔහු ඊයෙ (28) වැඩ භාරගත්තේය. ලුණු හිඟයක් මතු නොවන බවත් අනියත බියක් ඇති කරගනිමින් ලුණු තොග රැස් කරගැනීමෙන් වළකින ලෙසත් ඔහු එහිදී ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.

මේ වන විට ලංකා හම්බන්තොට ලුණු සමාගම සතුව මෙට්‍රික් ටොන් 6000ක ලුණු ප්‍රමාණයක් පවතින බවත් එය ජනවාරි මාසය දක්වා ප්‍රමාණවත් බවද ඔහු සඳහන් කළේය. තවද යම් ආකාරයකට ලුණු හිඟයක් ඇති වේ යැයි පවතින සැකය මත පිටරටින් ලුණු මෙට්‍රික් ටොන් 30,000ක් ආනයනය කිරීමට සූදානම් කර ඇතැයිද ඔහු කියා සිටියේය.

මෙම වසරේදී ලුණු නිෂ්පාදනය සැලකිය යුතු ලෙස අඩු වී ඇතැයි ද පැවසු සභාපතිවරයා මීට හේතුවී ඇත්තේ 2009 යුධමය තත්ත්වයෙන් පසු යාපනය ප්‍රදේශයේ පවතින ලුණු ලේවායයන් දෙක පැවැති කිසිදු රජයක් සංවර්ධනය කර ලුණු නිෂ්පාදනයට යොදා ගැනීමට පියවර නොගත් හේතුවෙන් බවද පැවසීය.

එළැඹෙන ජනවාරි මැද වන විට එහි සංවර්ධන කටයුතු ආරම්භ කිරීමට තීරණය කර ඇති බැවින් මාර්තු මාසය ආරම්භය වන විට එහි නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවත් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේය.

Share.

Comments are closed.

Exit mobile version