ශ්රී ලංකා තුන් ඉරියව් ක්රිකට් ක්රීඩක කමිඳු මෙන්ඩිස් තවත් ICC සම්මානයකට නිර්දේශ වී තිබේ. ඒ ICC වසරේ ටෙස්ට් ක්රිකට් ක්රීඩකයා සඳහා වන අතර, ඔහු පසුගියදා ICC වසරේ නැඟී එන ක්රිකට් ක්රීඩකයා සඳහා ද නිර්දේශ අතරට එක්ව සිටියේය.
ICC ඊයේ නිකුත් කළ වසරේ ටෙස්ට් ක්රීඩකයා සඳහා නිර්දේශ ලැයිස්තුවට එංගලන්තයේ සුපිරි පිතිකරුවන් වන ජෝ රූට්, හැරී බෘෘක් සමඟ ඉන්දීය වේග පන්දු යවන ක්රීඩක ජස්ප්රීට් බුම්රා ද එක්ව සිටිති. මේ වසර තුළ ටෙස්ට් ඉනිම් 9ක් ක්රීඩා කර ඇති කමිඳු ලකුණු 1049ක් රැස් කර ගෙන ඇත්තේ 74.92ක සාමාන්යයක්ද සහිතවය. 26 හැවිරිදි ඔහු වසර 75කට පසු ටෙස්ට් පිටියේ වේගවත්ම ලකුණු 1000 පසු කළ පිතිකරු බවට ද පත් විය.
කමිඳුට අමතරව ශ්රී ලංකා ක්රිකට් නායිකා චමරි අතපත්තු සමඟ වනිඳු හසරංග සහ කුසල් මෙන්ඩිස් ද මේ වසරේ ICC සම්මාන සඳහා නිර්දේශ අතරට එක්ව සිටිති.