ආණ්ඩුව ක්‍රියාත්මක කර ඇති Clean Sri Lanka වැඩසටහන යටතේ පොලිස් නිලධාරීන් අනවශ්‍ය ලෙස බස් රථවලට කඩා පැන අඛණ්ඩව සිදුකරන හිරිහැරවලට එරෙහිව දැවැන්ත වැඩ වර්ජනයක් දියත් කිරීමට පුද්ගලික බස් රථ රියදුරු සංගම් තීරණය කර ඇත.

පොලිසියේ අනිසි මැදිහත්වීම් සම්බන්ධව පොලිස්පතිවරයා සමඟ සාකච්ඡා කිරීමට ඉදිරි දින දෙක තුළ අපේක්ෂා කරන බවත් ඒ සඳහා ඉඩක් නොලැබුණොත් වැඩ වර්ජනය ආරම්භ කරන බවත් රියදුරු සංගම් නියෝජිතයෝ පිරිසක් පැවසූහ

මේ සම්බන්ධයෙන් පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතාගෙන් අප කළ විමසුමකදී ඔහු කියා සිටියේ රියදුරන් වැඩ වර්ජනයකට යනවා නම් එය නැවැත්විය නොහැකි බවයි.

බස් රථවල සවිකර ඇති අමතර උපාංග ඉවත් කිරීම සහ අනෙකුත් කරුණු රැසක් සම්බන්ධයෙන් පොලිසියේ අනිසි මැදිහත්වීම ගැන බස් රථ රියදුරන් සහ රිය සහායකයින් දැඩි කලකිරීමෙන් පසු වන බව විජේරත්න මහතා පැවසීය.

කෙසේ වෙතත් පොලිසියේ අනිසි මැදිහත්වීම නිසා උද්ගතව ඇති අර්බුදකාරී තත්ත්වය සම්බන්ධව ඉදිරි දින කිහිපය තුළ පොලිස්පතිවරයා සමග සාකච්ඡා කිරීමට බස් රථ හිමියන්ගේ සංගමයද සූදානමින් සිටින බවත් එහිදී තිරසර විසඳුමක් නොලැබුණොත් වැඩ වර්ජනයක් දියත් කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බව වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

Share.

Comments are closed.

Exit mobile version