දෙසැම්බර් මාසයේදී නිෂ්පාදන කටයුතුවල තවදුරටත් වර්ධනයක් සිදුව ඇතැයි මහ බැංකුව කියයි. මේ අනුව නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2024 දෙසැම්බර් මාසයේදී 57.2ක දර්ශක අගයක් වාර්තා කර ඇතැයි මහ බැංකුව නිකුත් කළ නවතම වර්තාවක දැක්වේ.

සේවා නියුක්තිය හැර අනෙකුත් සියලුම උප දර්ශක මෙම වර්ධනය සඳහා දායක විය. උත්සව සමයේ විශේෂයෙන් ආහාරපාන නිෂ්පාදන අංශයේ ඇණවුම් වැඩිවීම හේතුවෙන් නව ඇණවුම් සහ නිෂ්පාදන උප දර්ශක දෙසැම්බර් මාසයේදී තවදුරටත් ඉහළ ගොස් ඇත.

කෙසේ වෙතත් ශීත ඍතුවේ දීර්ඝ නිවාඩු පැවතීම හේතුවෙන් ප්‍රධාන ඇඟලුම් අපනයන ගමනාන්තවලින් ලැබෙන ඇණවුම් පහත වැටීමෙන් රෙදිපිළි සහ ඇඟලුම් නිෂ්පාදන අංශයේ නව ඇණවුම් සහ නිෂ්පාදන උප දර්ශක පහළ ගියේය. මෙහි ප්‍රතිඵලයක් ලෙස රෙදිපිළි සහ ඇඟලුම් අංශයේ අනියම් ශ්‍රමිකයන්ගේ සේවය ලබාගැනීම අඩුවීම සමස්ත රැකියා උප දර්ශකයේ පහත වැටීමට ප්‍රධාන වශයෙන් හේතු විය.

මේ අතර, තොග මිලදී ගැනීම් උප දර්ශකය මාසය තුළ තවදුරටත් ඉහළ ගිය අතර, ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය ඉහළ මට්ටමක පැවතුණ බව ද මහ බැංකු වාර්තාවේ සඳහන් වේ.

Share.

Comments are closed.

Exit mobile version