2024 වසරේ දී ශ්‍රී ලංකා ගුවන් තොටුපළ මගී, ගුවන් යානා සහ භාණ්ඩ ප්‍රවාහනයේ වේගවත් වර්ධනයක් වාර්තා කර ඇතැයි ගුවන් තොටුපළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) පුද්ගලික සමාගම නිවේදනය කරයි.

ඒ අනුව පසුගිය වසරේ මගී සංචලන මිලියන 8.88කි. එය 2023 වසරට සාපේක්ෂව 2024 වසරේ සියයට 17.69ක වර්ධනයකි. ගුවන් යානා සංචලන 56,289ක් වන අතර එය 2023 වසරට සාපේක්ෂව 2024 වසරේ සියයට 20.69ක වර්ධනයක් ලෙස දැක්වේ.

භාණ්ඩ ප්‍රවාහන මෙට්‍ර්ක් ටොන් 192,498කි. එය 2023 වසරට සාපේක්ෂව 2024 වසරේ සියයට 21.13ක වර්ධනයකි. ඒ අනුව ශ්‍රී ලංකාවට සැලකිය යුතු සන්ධිස්ථානයක් ලෙස, මෙරටට පැමිණීමේ ප්‍රධාන දොරටුව වන බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ, යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළ සහ මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඇතුළු රටේ ගුවන්තොටුපළවල 2024 දී මගීන්ගේ පැමිණීමේ සහ පිටවීමේ සංචලනයේ වැඩිවීමක් වාර්තා කර ඇති අතර එය මිලියන 8.8 සීමාව ඉක්මවා ගොස් ඇත.

මෙම ගුවන් මගීන්ගේ වැඩිවීම ශ්‍රී ලංකාව කළාපය හා සම්බන්ධ කිරීමේ මෙන් ම සංචාරක, වෙළෙඳාම සහ වාණිජ කටයුතු සඳහා පහසුකම් සැලසීම සඳහා ශ්‍රී ලංකාවේ ගුවන් සේවා යටිතල පහසුකම් ඉටු කරන වැදගත් කාර්යභාරය ඉස්මතු කරයි.

මගී සංචලන වැඩිවීමට හේතු වී ඇත්තේ ගුවන් සේවා කර්මාන්තය පුළුල් කිරීම සහ සංචාරක ව්‍යාපාරය නංවාලීම අරමුණු කරගත් උපායමාර්ගික ක්‍රියාකාරකම් ඇතුළු සාධක වන අතර මෙමගින් සංචාරකයින් මෙරටට පැමිණීම වැඩි කිරීමෙන් ජාතියේ ආර්ථිකයට සැලකිය යුතු දායකත්වයක් ලබා දී ඇත.

Share.

Comments are closed.

Exit mobile version