ඖෂධ මිල ගණන් අඩු කර ගැනීම සදහා ඖෂධ නියාමන අධිකාරිය අනවරත අරගලයක නිරතව සිටින බව වාර්තා වේ. 

විශේෂයෙන්ම, ඇතැම් ඖෂධ සැපයීම සම්බන්ධයෙන් ඒකාධිකාරයක් පවත්වාගෙන යනු ලබන පෞද්ගලික සමාගම් අසාධාරණ ලෙස අසීමිත ලාභයක් උපයමින් සිටින බව ඖෂධ නියාමන අධිකාරිය හදුනාගෙන ඇති අතර, එම ඒකාධිකාරය බිදීම සදහාද කටයුතු කරමින් සිටින බව පැවසේ. 

ඒ අනුව, ඖෂධ නියාමන අධිකාරිය, ඖෂධ සැපයීමට අදාල නව සමාගම් ලියාපදිංචි කරමින් පවතින අතර, ඉහළ මිල ගණන් ඉදිරිපත් වන සෑම අවස්ථාවකදීම, එම ඖෂධ නිෂ්පාදනය කරන මව් සමාගම සමග සෘජු සම්බන්ධතා ගොඩ නගා ගැනීමට කටයුතු කරමින් සිටින බවද වාර්තා වේ. 

මෑතක දී මහත් ආන්දෝලනයක් ඇති කළ හෘද රෝගීන් සදහා ලබා දෙන පැපවෙරින් හයිඩ්රෝක්ලෝරයිඩ් papaverine hydrochloride නමැති  එන්නතේ මිල ඇදහිය නොහැකි ලෙස පහත දමා ගැනීමට ඖෂධ නියාමන අධිකාරියට හැකි වී ඇත්තේ ද ඒ අනුව ය. 

පැපවෙරින් හයිඩ්රොක්ලෝරයිඩ් papaverine hydrochloride නමැති එන්නත 2018 වසරේ සිට දේශීය නියෝජිතයා විසින් සපයා ඇත්තේ රුපියල් 34,000 ත් 76,500 ත් අතර වූ මිල ගණන් යටතේ ය. ඖෂධ නියාමන අධිකාරිය අදාල සමාගමට ලබා දී තිබුණු ටෙන්ඩරය අවලංගු කළ සැනින්, රුපියල් 76,500 ක අගයකට මිල කර තිබුනු එන්නත රුපියල් 370 දක්වා පහත හෙලීමට සමාගමට කටයුතු කර තිබේ. 

එමෙන්ම දරුවන්ගේ අසාත්මිකතා වැළැක්වීම සදහා ලබා දෙන ප්‍රොමෙතසයින් promethazine නමැති ඖෂධයද බෝතලයක මිල රුපියල් 1200 සිට රුපියල් 150 දක්වා පහත දමා ගැනීමට ඖෂධ නියාමන අධිකාරියට හැකි වී තිබේ. 

ඊට අමතරව, එක් මාත්‍රාවක් රුපියල් ලක්ෂය ඉක්මවා තිබුණු ඉමියුනිග්ලෝබියුලීන් immunoglobulin නමැති එන්නත මේ වන විට, එය මුලින් ගෙන්වන ලද සමාගම හරහාම රුපියල් විසි දහසක පමණ මිලකට ගෙන ඒමට ඖෂධ නියාමන අධිකාරියට හැකි වී තිබේ. 

Share.

Comments are closed.

Exit mobile version