ලොව දැවැන්තම ත්‍රාසජනක සංචාරක ආයතනය වන Intrepid Travel සමාගම සිය වාර්ෂික ගෝලීය සමුළුව (2025) සඳහා ශ්‍රී ලංකාවේ කොළඹ නගරය තෝරාගෙන තිබේ. ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර මූලස්ථානය පිහිටි Intrepid Travel සමාගම තම ගෝලීය සමුළුව ඔස්ට්‍රේලියාවෙන් පිටත පවත්වන දෙවැනි අවස්ථාව මෙය වන අතර, සමාගමේ ජාත්‍යන්තර මෙහෙයුම් අතර ශ්‍රී ලංකාවට හිමිව ඇති වැදගත්කම ඉන් මනාව පිළිබිඹු වේ.

2012 වසරේදී පළමු වරට කොළඹ කාර්යාලයක් පිහිටුවමින් මෙරට සිය මෙහෙයුම් ආරම්භ කළ Intrepid Travel සමාගම මේ වනවිට සාර්ථක ලෙස මෙරට සංචරණ කටයුතු මෙහෙයවනු ලබයි. විශේෂයෙන්ම සහාය තාක්ෂණය, ආදායම් කළමනාකරණය, මානව සම්පත්, නිෂ්පාදන සේවා, මූල්‍ය සහ පාරිභෝගික සේවා ආදී පුළුල් සේවා රැසක් සහිත පරිපූර්ණ මෙහෙයුම් මධ්‍යස්ථානයක් ලෙස කොළඹ Intrepid Travel කාර්යාලය මේ වනවිට කටයුතු කරයි. ඊට 276ක ඍජු කාර්යාල කාර්යමණ්ඩලයක් සහ 45ක දේශීය සංචරණ මඟපෙන්වන්නන් කණ්ඩායමක් ඇතුළත් ය. එබැවින් සමාගමේ ගෝලීය වාර්ෂික සමුළුව පැවැත්වීමේ පූර්ණ හැකියාවක් කොළඹ කාර්යාලය සතුය.

Intrepid ගෝලීය සමුළුව 2025 පෙබරවාරි 24 සිට 27 වැනිදා දක්වා පැවැත්වේ. ඊට රටවල් 50කට වැඩි සංඛ්‍යාවක පිහිටි සමාගමේ කාර්යාල 40කට වැඩි සංඛ්‍යාවක් නියෝජනය කරන 200කට අධික ජාත්‍යන්තර සහභාගිත්වයක් අපේක්ෂා කෙරේ. තව ද, Intrepid Travel සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය, සම-නිර්මාතෘවරු, ප්‍රධාන කළමනාකරණ කණ්ඩායම සහ 300කට වැඩි දේශීය කාර්යමණ්ඩලය ද සම්බන්ධ වීමට නියමිතය.

දින හතරක් පුරා පැවැත්වෙන සමුළුවට, ක්‍රමෝපායික සාකච්ඡා, නායකත්ව වැඩමුළු, දේශීය ප්‍රජා සහභාගිත්වය සහිත වැඩසටහන් මෙන්ම නිරීක්ෂණ සංචාර ද ඇතුළත්ය.

Share.

Comments are closed.

Exit mobile version