රජයට අයත් ඉඩම් බදු පදනම මත ගෙන ඒවා සංවර්ධනය නොකර අත්පත් කරගෙන සිටින පිරිස් වෙත කඩිනමින් එම ඉඩම් සංවර්ධනය කරන ලෙසත් එසේ නොවුණහොත් බදු පදනම නවතා දමා නැවත එම ඉඩම් රජයට ගැනීමට කඩිනමින් කටයුතු කරන බවත් රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන ඇමැති, ආචාර්ය චන්දන අබේරත්න මහතා පුත්තලමේදී පැවසීය.

ඇමැතිවරයා මේ බව පවසා සිටියේ පුත්තලම දිස්ත්‍රික්කයේ ගම් වැදුණු වල් අලි පලවා හැරීම සම්බන්ධව පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමකට එක්වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද පැවසීය.

අලි මිනිස් ගැටුම දරුණු අතට පත් වෙලා බරපතළ ගැටලුක් වෙලා. මේ වන විට මට ලැබුණු තොරතුරු අනුව ආණමඩුව, පුත්තලම, මහකුඹුක්කඩවල, වනාතවිල්ලුව, පල්ලම, නවගත්තේගම යන ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශවල විවිධ පුද්ගලයන් අක්කර 25 හෝ ඊට වැඩි රජයේ ඉඩම් බදු ලබා ගැනීමෙන් පසු කිසිදු සංවර්ධන කටයුත්තක් නොකර තැබීම මේ ආසන්නයේ ජීවත් වන ජනතාවට බරපතළ ප්‍රශ්නයක් වෙලා.

පළමුව මේ ඉඩම් ලබාගෙන ඇති පිරිස් වෙත අපි සංවර්ධන කටයුතු කරන්න කියලා දැනුම්වත් කරනවා. එසේ නොකරන පිරිස් වෙත අදාළ නීති රීති අනුව නැවත ලබා ගැනීමට ඉදිරියේදී කටයුතු කරනවා. මොකද ගම්මාන ආසන්නයේ මෙවැනි විශාල ඉඩම් මේ වන විට කැලෑ බවට පත් වී වල් අලි රංචු රැඳී සිටීමේ ස්ථාන බවට පත්වෙලා.”

මේ අවස්ථාවට පරිසර නියෝජ්‍ය ඇමැති ඇන්ටන් ජයකොඩි, අජිත් ගිහාන්, ගයාන් ජානක, හිරුණි විජේසිංහ යන ජාතික ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා පුත්තලම දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්.පී.හේරත් මහතා සමඟ වනජීවී දෙපාර්තමේන්තුව, වන සංරක්ෂන දෙපාර්තමේන්තුව, ප්‍රාදේශීය ලේකම්වරුන්, ආපදා කළමනාකරණ දිස්ත්‍රික් ඒකකයේ අධ්‍යක්ෂ, ආරක්ෂක අංශ හා තවත් රාජ්‍ය හා රාජ්‍ය නොවන පිරිස් එක්ව සිටියහ.

Share.

Comments are closed.

Exit mobile version