ගල් අඟුරුවල ගුණාත්මක බව සහ ප්‍රමිතිය පරීක්ෂා කිරීමේ ප්‍රතීතනය වූ පරීක්ෂණාගාරයක් ශ්‍රී ලංකාවේදී ප්‍රථම වරට ස්ථාපනය කිරීමට තීරණය කර තිබේ. විද්‍යා හා තාක්ෂණ ඇමැති ක්‍රිෂාන්ත අබේසේන සහ විදුලිබල හා බලශක්ති ඇමැති කුමාර ජයකොඩි මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් පසුගියදා විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේදී පැවති විශේෂ සාකච්ඡාවකදී මේ තීරණයට එළඹ තිබේ.
එය කාර්මික තාක්ෂණ ආයතනයේ ස්ථාපනය කිරීමට නියමිතය. ආනයනික ස්වාභාවික අමුද්‍රව්‍යක් වන මේ ගල් අඟුරුවල ගුණාත්මක බව සහ ප්‍රමිතිය තාප විදුලිය උත්පාදනයේදී ඉතාම වැදගත් සාධකයකි. එම ගුණාත්මක බව මත තාප විදුලිය උත්පාදනයේ කාර්යක්ෂමතාව රඳා පවතී. එසේම විදුලි උත්පාදනය වෙනුවෙන් ගල් අඟුරු දහනය නිසා පරිසරයට බලපෑම් ඇති වේ. නිසි ප්‍රමිතියක් නැති ගුණාත්මක බවින් අඩු ගල් අඟුරු දහනයෙන් පරිසරයට එකතු වන වායූ පරිසරයට අහිතකර බලපෑම් ඇති කරයි.
දිවයිනේ ගල් අඟුරු ආනයනයේදී අදාළ පරීක්ෂා කිරීම්වලට පහසුකම් සහිත ප්‍රතීතනය වූ පරීක්ෂණාගාරයක් ශ්‍රී ලංකාව සතුව නැත. එබැවින් එම කාර්ය සිදු කර ගැනීමට රටේ මුදල් වැය කරමින් විදේශ රටවල පහසුකම් සහිත ප්‍රතීතනය වූ පරීක්ණාගාරවල සේවය ලබා ගැනීමට සිදු වේ. එම විදේශීය පරීක්ෂණ වාර්තා මත පදනම්ව ගල් අඟුරු මිල දී ගැනීම මෙතෙක් සිදු කරන ක්රමවේදයයි. ජාතික වශයෙන් වැදගත් වන ප්‍රතීතනය වූ පහසුකම්වලින් සමන්විත මෙවැනි පරීක්ෂණාගාරයක් ස්ථාපනය කිරීමෙන් වඩාත් විශ්වසනීය ලෙස ප්‍රමිතිගත ගල් අඟුරු ආනයනයටත්, විදේශයන්හි සේවාවන් ලබා ගැනීමට වැය වන මුදල් රටේ රඳවා ගැනීමටත් හැකියාව ලැබෙන බවත් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ඇතුළු සහයෝගය රජය මඟින් ලබා දෙන බවත් ඇමැතිවරුන් ප්‍රකාශ කළහ.
කාර්මික තාක්ෂණ ආයතනය වෙනත් විද්‍යාත්මක පරීක්ෂණ සිදු කිරීම වෙනුවෙන් ප්‍රතීතනය ලබා ඇති විද්‍යාගාර සතු පර්යේෂණ ආයතනයක් වන අතර ගල් අඟුරුවල ප්‍රමිතිය තීරණය කිරීමේ පරාමිතීන් සඳහා ඉතා පහසුවෙන් ළඟාවීමට එම ආයතනයට හැකියාව ඇත. ඒ සඳහා ශක්‍යතාව ඇති පළපුරුදු පර්යේෂකයන්, විශ්ලේෂණ විද්‍යාඥයන් සහිත එම ආයතනයේ මේ නව පර්යේෂණාගාරය නුදුරු අනාගතයේදී ස්ථාපිත වනු ඇත.
විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශ ලේකම් වයි.එල්.මොහොමඩ් නවාවි මහතා ප්‍රමුඛ අමාත්‍යාංශට අනුබද්ධ ආයතනවල ප්‍රධානීන්, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශ නිලධාරීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.