එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක චරිත් අසලංක සහ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
ඒ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයින් ලෙස සලකා ඔවුන්ගෙන් රඳවා ගැනීමේ බද්දක් අය කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලමිනි.
එය සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළේ මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ලබන 28 වැනිදා කැඳවන ලෙසය.
දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල්, එහි නියෝජ්‍ය කොමසාරිස්වරයා, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ඇතුළු එහි විධායක කමිටු සාමාජිකයින්, විගණකාධිපතිවරයා ඇතුළු පිරිසක් මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර ඇත.
තමන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ස්වාධීනව සේවා සපයන්නන් මිස එහි සේවකයින් නොවන බවත් පෙත්සම්කරුවෝ කියා සිටිති.
එම තත්වය යටතේ තමන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයින් සේ සලකා රඳවා ගැනීමේ බදු අය කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙන බවත් මේ හේතුවෙන් ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයින්ට දැඩි අගතියක් සිදුවී ඇති බවත් පෙත්සම්කරුවෝ පෙන්වා දෙති.