ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ සියැසින් දැක වන්දනා මාන කර ගැනීමේ අවස්ථාව ශ්‍රී ලාංකික ජනතාවට උදා කර දෙමින් ඊයේ ආරම්භ වූ “සිරි දළදා වන්දනාව” අද දෙවන දිනටත් පැවැත් වේ.
ඒ අනුව අද දහවල් 12.00 සිට පස්වරු 05. 30 දක්වා දළදා වන්දනාව සඳහා සැදැහැවතුන්ට අවස්ථාව උදා වනු ඇත. ඊයේ දිනයේදී ලක්ෂයකට ආසන්න සැදැහැවතුන් පිරිසක් දළදා සමිඳුන් වැඳපුදා ගනු ලැබීය.
අද දිනයේදී දළදා සමිඳු වැඳපුදා ගැනීමේ අපේක්‍ෂාවෙන් අති විශාල පිරිසක් ඊයේ රාත්‍රිය පහන් කරමින් දිගු පෝළිම්වල රැඳී සිටියහ.
මේ අතර, දළදා වන්දනාව වෙනුවෙන් සැදැහැවතුන් පෙළගැසී සිටින එක් පෝළිමක් කිලෝමීටර් 08කට වඩා දීර්ඝ වී ඇති බව අද අලුයම වන විට වාර්තා විණි. එම පෝළිම මහනුවර රතු බෝක්කුව අසල සිට තලාතුඔය මාර්ගය ඔස්සේ කැටවල ප්‍රදේශයද ඉක්මවා ගොස් තිබූ බව සඳහන් ය.
පෝළිම්වල රැඳී සිටිමින් රැය පහන් කළ සැදැහැවතුන්ට එම ප්‍රදේශවාසීන් තේ පැන් ආදියෙන් සංග්‍රහ කර ඇතැම් සැදැහැවතුන්ට සිය නිවාසවල නවාතැන් පහසුකම්ද ලබා දී තිබූ බව වැඩිදුරටත් වාර්තා වේ.