ලක්ෂ 150කට අධික සංඛ්‍යාවකින් බැතිමත්හු ලක්ෂ 4කට ආසන්න සංඛ්‍යාවක් වතිකානයට එක්රොක් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය සෙනසුරාදා ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.30ට වතිකානයේ කාඩිනල්වරුන්ගේ මණ්ඩලයේ ප්‍රධානි ජියෝවනි බැටිස්ටා කාඩිනල්තුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ අවමංගල්‍ය පූජෝත්සවය පැය 3ක කාලයක් පුරා පැවැති බවත්, ලෝක රාජ්‍ය නායකයන්, කාඩිනල්වරු සහ බිෂොප්වරු ඇතුළු පියතුමන්ලා, මව්තුමියන් ඇතුළු කන්‍යා සොහොයුරියන් විවිධ ආගමික පූජකවරුන් එම බැතිමතුන් සමඟ එක්ව ශෝකය බෙදාහදාගත් බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ජනතාවගේ මනස සහ හදවත් ස්පර්ශ කළ මානව හිතවාදියකු බවත්, උන් වහන්සේ ජනතාව වෙන් කරන බාධක ඉදි කිරිමට නොව ජනතාව එක් කරන පාලම් තැනීමට ජීවිත කාලයම කැප කළ බවත් අවමංගල්‍ය පූජෝත්සවය මෙහෙයවනු ලැබූ කාඩිනල් බැටිස්ටා ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය සටහන් වල සඳහන් වේ.

අවමංගල්‍ය පූජෝත්සවයෙන් පසු පාප් වහන්සේගේ දේහය තැන්පත් කිරීම සඳහා විශේෂ රථ පෙරහැරකින් රෝමයේ සාන්ත මරියා මැජියෝර් බැසිලිකාව වෙත රැගෙන යෑමේදී මාර්ගය දෙපස පෙළ ගැසුණු බැතිමතුන් සිය ගෞරවය පුද කළ බවත් සඳහන් ය. සාන්ත මරියා මැජියෝර් බැසිලිකාවේ පාප් වහන්සේගේ දේහයක් තැන්පත් කිරීම සිදුවූයේ වසර 356කට පසුව වන අතර, අවසන් වරට සාන්ත මරියා මැජියෝර් බැසිලිකාවේ තැන්පත් කරනු ලැබුවේ 1669 ස්වර්ගස්ථ වූ 9 වැනි ක්ලෙමන්ට් පාප් වහන්සේගේ දේහය බව ද වාර්තා වේ. එමෙන්ම 1903 වසරේදී ස්වර්ගස්ථ වූ 13 වැනි ලියෝ පාප් වහන්සේගෙන් පසුව වතිකානයෙන් පිටත දේහයක් තැන්පත් කිරීම සිදුවූයේ පළමුවරට වන අතර, එය ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අන්තිම කැමැත්ත අනුව සිදුවූ බව වතිකානය නිවේදනය කර තිබේ.

සාන්ත මරියා මැජියෝර් බැසිලිකාවේ පැවැති දේහය තැන්පත් කිරීමේ අවස්ථාව කාඩිනල්වරු අටදෙනකුගේ සහභාගීත්වයෙන් අතිශය පෞද්ගලික ආකාරයෙන් සිදුකර ඇතැයි ද වාර්තා වේ. අවමංගල්‍ය පූජෝත්සවයෙන් පසු දින 9ක ශෝක කාලයක් වතිකානය විසින් නිවේදනය කරනු ලැබූ අතර, එම කාලය තුළ දිනපතා කාඩිනල්වරුන්ගේ ප්‍රධානත්වයෙන් දේව මෙහෙයන් පවත්වනු ලබන බවද වාර්තා වේ.

Share.

Comments are closed.

Exit mobile version