යුද ජයග්‍රහණයට වසර 16ක් සපිරීම නිමිත්තෙන් පවත්වන ‘ජාතික විජයග්‍රාහී සැමරුම් උත්සවය’ අද (19දා) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි රණවිරු ස්මාරකය අබියස දී සිදුකෙරේ. මෙම උත්සවය පස්වරු 4.00 සිට 6.00 දක්වා පැවැත්වෙනු ඇත.

දශක තුනකට අධික කාලයක් ශ්‍රී ලංකාවේ පැවැති එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජයට පත් කර වසර 16ක් ඊයේ දිනට සපිරේ. 2009 වසරේ මැයි 19 දා නන්දිකඩාල් කලපුවේදී එල්.ටී.ටී.ඊ. නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් රණවිරුවන් අතින් ජීවිතක්ෂයට පත්වීමත් සමඟ යුද්ධය අවසන් වූ බව ලෝකයටම පසක් විය. ලොව විශාලතම මානුෂීය මෙහෙයුම මගින් ප්‍රාණ ඇපයේ සිටි සිවිල් වැසියන් දහස් ගණනක් එල්.ටී.ටී.ඊ. ග්‍රහණයෙන් මුදා ගැනීමේ ගෞරවය ද ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ වෙත හිමි වේ.

‘ජාතික විජයග්‍රාහී සැමරුම් උත්සවය’ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි. මෙම ජාතික රණවිරු අනුස්මරණ උත්සවය සඳහා ත්‍රස්තවාදය නිමා කිරීමට ත්‍රිවිධ හමුදාවට නායකත්වය ලබාදුන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ සහ මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝර්ස් රොෂාන් ගුණතිලක යන මහත්වරුන් ද සහභාගී වීමට නියමිතය.

Share.

Comments are closed.

Exit mobile version