ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි සියලු රාජ්‍ය ආයතනවල සේවා සැපයීම සම්බන්ධයෙන් ආයතන තුල අභ්‍යන්තර කටයුතු ඒකක පිහිටුවීම ආරම්භ විය.
නිකුත් කර ඇති ජනාධිපති ලේකම් කාර්යාල චක්‍රලේඛයේ උපදෙස් ප්‍රකාරව ක්‍රියාත්මක වන 2025 -2029 දූෂණ විරෝධී ජාතික සැලැස්ම අනුව රාජ්‍ය ආයතනවල සිදුවන සේවා සැපයීම සම්බන්ධයෙන් වන විමසීම් හා පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා මෙම අභ්‍යන්තර කටයුතු ඒකක පිහිටුවන බව සඳහන් වේ.

ඒ අනුව, ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ අභ්‍යන්තර කටයුතු ඒකකයක් පිහිටුවීම ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ආරක්‍ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේ දී සිදු කෙරුණි.
මෙවැනි ඒකකයක් පිහිටුවීමේ මූලික අරමුණ වන්නේ ආයතනයන් තුළ දූෂණය අවම කිරීම සහ සුපිළිපන් බව ඉහළ නැංවීම වන අතර, මෙමඟින් දූෂණ අවදානම් හඳුනා ගැනීම, අවදානම් තක්සේරු කිරීම, ආරක්‍ෂක විධිවිධාන වැඩි දියුණු කිරීම වැනි කරුණු අධීක්‍ෂණය කෙරෙනු ඇත. මේ යටතේ සමස්ත ක්‍රියාවලිය පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත හා අල්ලස් සහ දූෂණ මර්දන කොමිෂන් සභාව වෙත වාර්ෂිකව ඉදිරිපත් කිරීම කළ යුතුය.
ආරක්‍ෂක අමාත්‍යාංශ කාර්ය මණ්ඩලය වෙත මෙම වැඩසටහන හඳුන්වා දීම මෙම ඒකකයේ ප්‍රධානී ලෙස කටයුතු කරන ප්‍රියංගනී හේවාරත්න මහත්මිය විසින් සිදු කරන ලද අතර, මෙම අවස්ථාවට ජාතික බුද්ධි ප්‍රධානී, ආරක්‍ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ජනරාල් – ක්‍රමසම්පාදන හා ආරක්‍ෂක අමාත්‍යාංශයේ මාණ්ඩලික නිලධාරීන් පිරිසක්ද එක්ව සිටියහ.