NEXT ඇඟලුම් කම්හල් සමූහයේ කටුනායක නිදහස් වෙළඳ කලාපයේ පිහිටි කම්හල වසා දැමීම සම්බන්ධයෙන් තවත් සාකච්ඡාවක් (23) පැවැත් විය.

මෙම හමුව පැවැත් වූයේ කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා සහ රැකියා අහිමි වූ සේවකයන්ගේ වෘත්තීය සමිති නියෝජිතයන් අතර කම්කරු අමාත්‍යංශයේදීයි.

22 වනදා මේ පිළිබඳ තවත් සාකච්ඡාවක් පැවැත්වුණේ වසා දැමුණු NEXT ඇඟලුම් කම්හලේ පාලනාධිකාරය සහ කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා අතරය.
එම සාකච්ඡාවේදී පාලනාධිකාරිය අවධාරණය කළේ කොවිඩ් වසංගතය ආරම්භ වූ සමයේ සිට මෙම කම්හල අධික පාඩු ලබමින් සිටින බවයි.

එම පාඩුව මේ දක්වා කාලය තුල ඩොලර් මිලියන 10 ක් පමණ වන බවද ඔවුන් පෙන්වා දුන්හ.

ඒ අනුව මෙහෙයුම් පිරිවැය අධික වීම හේතුවෙන් මෙම ඇඟලුම් කම්හල අකමැත්තෙන් වුවද වසා දැමීමට සිදු වූ බව පාලනාධිකාරය වැඩි දුරටත් සඳහන් කළේය.

2800ක් පමණ වූ එම කම්හලේ සේවකයන්ගෙන් රැකියා අහිමි වන 1400ක් පමණ වූ සේවකයන්ට කම්කරු නීතියට අනුව ගෙවිය යුතු වන්දි මුදලට අමතරව වඩා වැඩි වන්දියක් ගෙවීමට තම සමාගම සූදානම් බවද ඔවුන් ප්‍රකාශ කළහ.

ඊට අමතරව රැකියා අහිමි වන සේවක සේවිකාවන්ට වෙනත් කම්හලක රැකියා ලබා දීමට මැදිහත් වන බවද පාලනාධිකාරය අවධාරණය කළේය.

එහිදී අදහස් දක්වමින් කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා අවධරණය කළේ පූර්ව දැනුම් දීමකින් තොරව කම්හල මෙලෙස වසා දැමීම කම්කරු නීතියට පටහැනි බවය. සිය තීරණය සම්බන්ධයෙන් ආයෝජන මණඩලය මෙන්ම කම්කරු දෙපාර්තමේන්තුවද දැනුම්වත් කිරීමට පියවර නොගත්තේ මන්දැයි නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහෙදී පාලනාධිකාරයෙන් විමසා සිටියේය.
එහිදී ඔවුන් සඳහන් කළේ කම්හල වසා දැමීමේ තීරණයත් සමග සේවකයන් නොසන්සුන් වීම සැළකිල්ලට ගෙන එම පියවර ගත් බවය.
කෙසේ වෙතත් තම ව්‍යාපාර සමූහයේ මෙරට ක්‍රියාත්මක සෙසු ඇඟලුම් කර්මාන්ත ශාලා දෙක සාර්ථකව පවත්වාගෙන යන බවද ඔවුන් සඳහන් කළහ.

පාලනාධිකාරය ඉදිරිපත් කළ එම අදහස් සහ යෝජනා කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා අදාළ කම්හලේ වෘත්තීය සමිති හමුවේ ප්‍රකාශ කල අතර එහිදී වෘත්තීය සමිති නියෝජිතයන් ප්‍රකාශ කළේ හදිසියේ කම්හල වසා දැමීමට ගත් තීරණය සමග තමන්ට එකඟ විය නොහැකි බවයි.

එම තීරණය පාලනාධිකාරය සහ සේවකයන් අතර මීට පෙර ඇති කරගෙන තිබූ ගිවිසුමට අනුව නිත්‍යානුකූල නොවන බව ඔවුන් අවධාරණය කළහ.
කෙසේ හෝ යළි තමන්ට රැකියා ලබා දීමට පියවර ගන්නා ලෙසද වෘත්තීය සමිති නියෝජිතයන් නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා හමුවේ ඉල්ලා සිටියහ.

එහිදී නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා ප්‍රකාශ කළේ වසා දැමුණු කම්හල යළි විවෘත කරන ලෙස පාලනාධිකාරයෙන් තමන් ද ඉල්ලීමක් කළ බවයි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීම සඳහා වෘත්තීය සමිතිය සහ පාලනාධිකාරය අතර සාකච්ඡාවක් පැවැත්වීමට මැදිහත් වන බවද මහින්ද ජයසිංහ මහතා ප්‍රකාශ කලේය.

23වනදා පැවති සාකච්ඡාවට ආයෝජන මණ්ඩලයේ කටුනායක නිදහස් වෙළඳ කලාපය භාර අධ්‍යක්ෂ රන්ජන් සිබේරා, කම්කරු අමාත්‍යංශයේ ලේකම් එස්.එම්. පියතිස්ස යන මහත්වරුන් මෙන්ම කම්කරු දෙපාර්තමේන්තුවේ බලධාරීන් කිහිප දෙනෙකුද එක්ව සිටියහ.

Share.

Comments are closed.

Exit mobile version