Sri Lankan ගුවන් සේවයට අලුතින් එකතු වන එයාර්බස් A330-200 (Airbus A330-200) පුළුල් බඳ (wide-body) සහිත ගුවන්යානය අද (04) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

උදෑසන 8.00 සිට 9.00 දක්වා, අඩි 1,000ක පමණ උසකින්, මෙම ගුවන්යානය කොළඹ වෙරළ තීරය ඔස්සේ, වරාය නගරයෙහි දකුණු කෙළවරේ සිට මොරටුව දක්වා දිස්වන පරිදි පියාසර කිරීමට නියමිත බව වාර්තා වේ.

පැරිස් සිට පැමිණෙන මෙම ගුවන්යානය, ශ්‍රී ලංකාවේ ගුවන්යානා නිරීක්ෂකයන්ට විශේෂ අවස්ථාවක් ලබා දෙමින්, කොළඹ සහ කටුනායක ඉහළ අහසේ අඩු උසකින් පියාසර කරනු ලබන බව Sri lankan ගුවන් සමාගමේ ආයතනික සන්නිවේදන කළමනාකරු දීපාල් පෙරේරා මහතා පවසයි.

අනතුරුව ගුවන්යානය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ (BIA) වෙත පැමිණෙන අතර ගොඩබැස්සවීමට පෙර කටුනායක ගුවන්තොටුපොළට ඉහළින් තවත් පියාසැරියක් සිදු කිරීමටත් නියමිත බවත් හෙතෙම කියා සිටියේය.

ශ්‍රී ලංකාව ලොවට සම්බන්ධ කරන දිගු දුර හා කෙටි දුර ගමනාන්ත මෙහෙයුම් සඳහා ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යානා ඇණිය සමඟ එකතු වන මෙම ගුවන්යානය පළමු වරට පැමිණීම දැක ගැනීමට ලැබීම ගුවන්යානා ලෝලීන්ට සහ නිරීක්ෂකයන්ට ආකර්ෂණීය අවස්ථාවක් වනු ඇතැයි ද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

Share.

Comments are closed.

Exit mobile version