සමහර දන්තාලේප සහ ෂැම්පූ වර්ග සඳහා ඕනෑකමින් ක්ෂුද්‍ර ප්ලාස්ටික් එක් කරන බවත් දත් මැදීමේදී සහ ජලය පානයේදීත් ක්ෂුද්‍ර ප්ලාස්ටික් ශරීරගත විය හැකි බව මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු අධ්‍යයන අංශයේ ජ්‍යොෂ්ඨ මහාචාර්ය ජගත් ප්‍රේමචන්ද්‍ර මහතා පැවසීය.

ප්ලාස්ටික් භාවිත කරනවාද නැද්ද යන්න පිළිබඳ පාරිභෝගිකයාගේ දැනුම්වත් බව අත්‍යවශ්‍ය යැයි ද හෙතෙම කීවේය.

මීට අමතරව ආහාරයට ගන්නා ලුණු සහ සීනිවලත් ප්ලාස්ටික් අංශු ඇති බවත් අපි හුස්ම ගන්නා වාතයේ තිබෙන්නේ ද ක්ෂ්‍රද්‍ර ප්ලාස්ටික් බවත් ඔහු කීය.

ලෝක පරිසර දිනය පිළිබඳ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පෙරේදා (04) පැවති මාධ්‍ය සාකච්ඡාවේදී මහාචාර්යවරයා මේ බව පැවසීය.

ඔහු වැඩිදුරටත් මෙසේ කීය.

“අමෙරිකාවේ කෙමිකල් සංවිධානයක් 2020දී කළ පර්යේෂණයකට අනුව කුඩා පිරිමි දරුවකු අංශු 110ක්, වැඩුණු පිරිමියකු අංශු 170ක්, කුඩා දැරියක අංශු 97ක් සහ වැඩුණු ගැහැනියක් අංශු 132ක් ලෙස දිනකදී හුස්ම ගැනීමේදී ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශු වාතය හරහා ශරීරගත වෙනවා. අවසානයේ මේවා අපේ රුධිරයේ, ශ්වසන පද්ධතියේ, අවයවල, මවුකිරිවල පවා තිබී හමුව තිබෙනවා. ඒ නිසා කළමනාකරණයෙන් යුතුවත් ප්ලාස්ටික් අවභාවිත කිරීම පිළිබඳවත් සියලුදෙනාම දැනුම්වත් විය යුතුයි.

අපේ ඇඳුම්වලින්, ජනෙල් දොර තිර රෙදි, කාපට්වලින්, පාපිසි වලින්, ෆේස් මාස්ක් එකෙන්, පුංචි දරුවන්ගේ සෙල්ලම් බඩුවලින්, මුළුතැන්ගෙයි නොඇලෙන භාණ්ඩවලින් (nonesticks), ප්ලාස්ටික් කොස්ස, උදේ සවස දත් මදින දත් බුරුසුව, ටී බෑග් සහ නිවෙසේ භාවිත කරන ප්ලාස්ටික් භාණ්ඩ දිගුකාලීන භාවිතයෙන් ක්ෂුද්‍ර ප්ලාස්ටික් ඇති‍වනවා.

අමෙරිකාවේ ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලය කළ පර්යේෂණයකදී මෙට්‍රික් ටොන් ලක්ෂයක් පමණ වාර්ෂිකව මුහුදේ තිබෙන ප්ලාස්ටික් අංශු වාතයට පැමිණෙන බව සොයාගත්තා. රුහුණු විශ්වවිද්‍යාලය සහ අමෙරිකාවේ නෝර්ත් කැරොලයිනා විශ්වවිද්‍යාලය එක්ව 2021දී සමුද්‍ර ආශ්‍රිතව කළ පර්යේෂණයකට අනුව ශ්‍රී ලංකාවේ හික්කඩුව ජාතික වනෝද්‍යානයේ වෙරළ ආශ්‍රිත රොන්මඩවල ක්ෂුද්‍ර ප්ලාස්ටික් වර්ගමීටරයකට 102ක් සහ මුහුදු ජලයේ ඝනමීටරයක 0.515ක් සොයාගත්තේය. මූන්දල ජාතික වනෝද්‍යානයේ වෙරළ ආශ්‍රිත රොන්මඩවල ක්ෂුද්‍ර ප්ලාස්ටික් වර්ගමීටරයකට 111ක් සහ මුහුදු ජලයේ ඝනමීටරයක 0.276ක් සොයාගෙන තිබේ.

ජපුර විශ්වවිද්‍යාලය 2021 සිදු කළ පර්යේෂණයකදී නිවෙස් තුළ වාතයෙහි ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශු ඝනමීටරයට දශම 139 සිට දශම 93 දක්වා තිබෙන අතර, නිවෙසින් පිටත එළිමහන් වාතයෙහි ඝනමීටරයට දශම 23ක් බව සොයාගෙන තිබෙනවා. එම ක්ෂුද්‍ර ප්ලාස්ටික් අණුවල වැඩිපුර අඩංගු වන්නේ බීමට ගන්නා ප්ලාස්ටික් වතුර බෝතලවල සහ ඇඳුම්වල අඩංගු ප්ලාස්ටික් අංශුයි. මීට අමතරව පේරාදෙණිය විශ්වවිද්‍යාලය කළ පර්යේෂණයකට අනුව බෝතල් කළ පානීය ජලයේ එක් ලීටරයක 3 සිට 9 දක්වා ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශු ඇති බව සොයාගෙන තිබෙනවා.

ප්ලාස්ටික් නැතුවත් බැරි, ඇතුවත් බැරි දෙයක් වෙලා. ඒ නිසා නිසි කළමනාකරණය නොකර ප්ලාස්ටික් තවදුරටත් භාවිත කිරීමෙන් සිදුවන විනාශය අපිට පමණක් නොව ජීවීන්ගේ අනාගතයට විශාල තර්ජනයක් සිදු‍ෙවනවා. මේ නිසා සියලුදෙනාම දැනුම්ත් වන්නැයි ඉල්ලා සිටිනවා.”

Share.

Comments are closed.

Exit mobile version