ඉරානයේ පවතින යුධමය වාතාවරණය හේතුවෙන් ටෙහෙරාන් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තාවකාලිකව ඉවත් කිරීමට රජය තීරණය කළ බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමැති විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (17) ප්‍රකාශ කළේය.
ඉරානයට දිගින් දිගටම එල්ල වන ප්‍රහාර හේතුවෙන් තානාපති කාර්යාලයේ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යෑමේ ගැටලු පවතින බව පෙන්වා දුන් ඒ මහතා මේ හේතුවෙන් තානාපති කාර්යාල නිලධාරීන් සහ එම කාර්යාලයට එකතු වී සිටි ශ්‍රී ලාංකික සිසුන් 08 දෙනා තානාපති පිරිස තානාපති කාර්යාලය මඟින් ඉරානයේ උතුරු ප්‍රදේශය වෙත රැගෙන යෑමට පියවර ගත් බව ද පැවසීය.
මැදපෙරදිග මතුව ඇති යුධමය තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඇමැතිවරයා මේ අදහස් පළ කළේය.
මැදපෙරදිග මතුව ඇති යුධමය තත්ත්වය හේතුවෙන් මේ වන විට ශ්‍රී ලාංකිකයන් සිව්දෙනකු තුවාල ලබා ඇති බව ද සඳහන් කළ ඇමැතිවරයා ඉන් එක් අයකුගේ තත්ත්වය බරපතළ වන නමුත් අනෙක් තිදෙනාගේ තත්ත්වය බරපතළ නොවන බව ද තුවාල ලැබූවන් අතරින් තිදෙනකු කාන්තාවන් බව ද සඳහන් කළේය.
කෙසේ වෙතත් තුවාල ලැබූ සියලු දෙනා ඊශ්‍රායලයේ සේවය කරන ශ්‍රී ලාංකිකයන් වන අතර තානාපති කාර්යාලය මැදිහත් වීමෙන් ඔවුන් සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සොයා බලමින් සිටින බව ද ඊශ්‍රායලය තුළ ශ්‍රී ලාංකිකයන් 20,000ක් පමණ සේවය කරමින් සිටින අතර ඉරානය තුළ ශ්‍රී ලාංකිකයන් 35 දෙනකු රැඳී සිටින බව ද පැවසීය. එයින් 8 දෙනකු ඉරාන ජාතිකයන් සමඟ විවාහ වී සිටින බව ද ඒ මහතා සඳහන් කළේය.