2022 වසරේ ඔක්තෝබර් මාසයෙන් අවසන් වන මාස 10 තුළ ශ්‍රී ලංකාවේ ජනතාව 2021 වසරට වඩා රුපියල් කෝටි 19,400ක රන්භාණ්ඩ උගස් තබා ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලය විසින් කරන ලද අධ්‍යයනයකින් හෙළි වී තිබේ. 2021 මුළු වසර තුළ උගස් තබා ඇති රන් භාණ්ඩ හා කනකර ආභරණවල වටිනාකම රුපියල් කෝටි 49,300ක් විය

2022 වසරේ ඔක්තෝබර් මාසයෙන් අවසන් වන මාස 10 තුළ ශ්‍රී ලංකාවේ ජනතාව රුපියල් බිලියන 687ක් හෙවත් කෝටි 68,700ක් වටිනා රන් භාණ්ඩ හා කනකර ආභරණ රාජ්‍ය හා වාණිජ බැංකු 13ක සහ කුඩා මූල්‍ය ආයතන 10ක උගස් තබා මුදල් ලබාගෙන ඇති බව මෙම අධ්‍යයනයේදී හෙළි වී තිබේ. මෙලෙස භාණ්ඩ උගස්කර ඇති වැඩිදෙනා මධ්‍යම පාන්තික පවුල්වල සාමාජිකයෝ වෙති.

මෙම අධ්‍යයනය සිදුකළ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරාළ අනාවරණය කළේ රාජ්‍ය හා වාණිජ බැංකු 13ක රුපියල් කෝටි 66,200ක්ද, ප්‍රාදේශීය ලේකම් කෝට්ඨාස 3ක පිහිටි කුඩා මූල්‍ය ආයතන 10ක තවත් රුපියල් කෝටි 2,500ක්ද භාණ්ඩ මෙසේ උගස් තබා ඇති බවය.

එසේම වැඩිපුරම රන් භාණ්ඩ උගස් ගෙන වාර්තාවක් පිහිටුවා ඇත්තේ මහජන බැංකුව වන අතර එය මුළු අගයෙන් 39%කි. දෙවැනි ස්ථානය ගන්නා ලංකා බැංකුව 17%ක් සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව 11% ක ප්‍රතිශතයකටද උරුමකම් කියන බව අධ්‍යයනයෙන් සනාථ වී තිබෙනවා. සම්පත් බැංකුව උගස් ගෙන ඇති ප්‍රමාණය 10% කි.

Share.

Comments are closed.