මෙවර නත්තල දිළිදුන් සමග සැමරිය යුතු බව නත්තල් පණිවිඩයක් යොමු කරමින් අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

උන්වහන්සේ සදහන් කළේ ජේසුස් වහන්සේ ධනයට, බලයට පවතින කෑදරකම හේතුවෙන් මිනිසුන් විඳින දුක තේරුම් ගත් අයෙකු බවයි. කොළඹ අගරදගුරු පදවියේ ප්‍රධාන දේව මෙහෙය අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පන්නිපිටිය ක්‍රිස්තුරාජ දේවස්ථානයේ දී පැවැත්වුණා.

එහිදී අදහස් දැක්වමින් උන්වහන්සේ මේ බව පැවසුවා.

“මේ ලෝකේ මනුෂ්‍යයෙකුගේ වටිනාකම රඳා පවතින්නේ ධනය බලය සහ පුළුවන්කාරකම මත නොවේ. නත්තල, මනුෂ්‍යයන්ගේ උත්තරීතරකම ගැන කියන්නේ අමුතුම පණිවිඩයක්. දෙවියන්වහන්සේ එවැනි තත්ත්වයක ඉපදුනේ මේ ධනය බලය සහ තමන් මේ එකතුකරගන්නා දේ තුළ වැදගත්කම කීර්තිය රඳා පවතින්නේ නැති බව පෙන්වන්නටයි. ධනය කාවන් කාදමනවා. ස්වර්ගයේ වස්තුව රැස්කර ගන්න කියලා කිව්වා උන්වහන්සේ එක අවස්ථාව. උන්වහන්සේ කිව්වා ධනය නිසා මිනිසුන් නොමිනිසුන් වෙනවා කියලා. ධනවතෙකුට දේව රාජ්‍යයකට ඇතුළු වීම ඔටුවෙකුට ඉඳිකටු තුඩකින් යාමටත් වඩා දුෂ්කර බව උන්වහන්සේ ප්‍රකාශ කළා. උන්වහන්සේ මේ ධනයට බලයට තියෙන කෑදරකම නිසා මිනිසුන් විඳින දුක තේරුම් ගත්තා. තේරුම් අරගෙන එය ප්‍රතික්ෂේප කරලා සෑබෑ නිදහස අත්විඳින්නට කියන දේ උන්වහන්සේ අපෙන් ඉල්ලා සිටියා. මේ කෑදරකම මේ තණ්හාව මෙයින් නිදහස්වීම වැදගත් කියන එක උන්වහන්සේ පෙන්වා දුන්නා. යදම් බිඳ දැමීමේ මාර්ගය පිළිබඳ පණිවිඩය මෙලොවට ලැබීමේ පළමු මොහො​ත මේ උපතයි.”

Share.

Comments are closed.