ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීම මෙතෙක් ප්‍රමාද වීමට හේතුව හම්බන්තොට වරාය සම්බන්ධයෙන් ඇති කරගත් ගිවිසුමත් සමග බොහෝ රටවල් ශ්‍රී ලංකාව සමග විරසක වීම බව අධිකරණ බන්ධනාගාර කටයුතු හා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමති ආචාර්ය විජයදාස රාජපක්‍ෂ පැවසුවා.

එම ගිවිසුම නිසා ඉන්දියාව, චීනය, ඔස්ට්‍රේලියාව, ජපානය, අමෙරිකාව, බුරුමය, යුරෝපය ආදී රටවල් රැසක් ශ්‍රී ලංකාව සමග විරසක වූ බවද ඇමතිවරයා ප්‍රකාශ කලා.

හම්බන්තොට වරාය ගිවිසුමට විරුද්ධ වීම නිසා 2017 වර්ෂයේදී තමාව අමාත්‍ය ධූරයෙන් පවා නෙරපා හැරිය බව ද ඔහු පැවසීය.

රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාව සිටි කාලයකදී ජපානය සමග ඇති කරගත් ශ්‍රී ලංකාවට හොඳ ප්‍රතිලාභ ලබාගත හැකි සැහැල්ලු දුම්රිය ගිවිසුමක් කිසිදු අධ්‍යයනයකින් තොරව අවලංගු කළ බවද මේ ආකාරයට ශ්‍රී ලංකාව රටවල් රැසක් අමනාප කරගත් බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණයක් ලැබුණත් මෙරට ආර්ථිකයේ ලොකු වෙනසක් කිරීමට නොහැකි නමුත් ලෝකයේ වෙනත් රටවලට අප රට පිළිබඳව විශ්වාසයක් ඇතිකර ගැනීමට මෙන්ම විදේශීය ආයෝජකයන් මෙරටට ගෙන්වා ගැනීම, වෙනත් රටවල් සමග ගනුදෙනු කිරීමට හැකිවීම වැනි වාසිදායක තත්ත්වයන් එම ණය මුදල අප රටට ලැබීම හරහා සිදුවනු ඇති බවද ඔහු සඳහන් කලා.

කෙසේ වුව ද ඉදිරි මාස දෙකක කාලය ඇතුළතදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට ණය ආධාරයක් ලැබෙනු ඇතැයි විශ්වාස කරන බව ද ඇමතිවරයා වැඩිදුරට ත් පැවසුවා.

Share.

Comments are closed.