අන්තර්ජාතික මට්ටමේ ක්‍රිකට් පුහුණුවීම් සඳහා ශ්‍රී ලංකාවේ නැවත සංවර්ධනය කළ ‘රදැල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය’ පුහුණුවීම් සඳහා විවෘත කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කලා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ එළඹෙන නවසීලන්ත තරග සංචාරය වෙනුවෙන් මෙම ක්‍රීඩාංගණය පුහුණුවීම් සඳහා යොදා ගන්නා බව ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් දන්වා සිටියා.

ක්‍රීඩාංගණයේ හිමිකරුවා ලෙසින් ක්‍රියා කරන දිඹුල ක්‍රිකට් හා මළල ක්‍රීඩා සමාජයෙහි එකඟතාව මත මෙම ක්‍රීඩාංගණය ජනසතු කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් නිවේදනය කලා.

ක්‍රීඩාංගණයේ කළමණාකාරීත්වය සඳහා 20 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පත් කර ඇති අතර එහි ප්‍රධානීත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අන්තර්ජාතික ක්‍රීඩාංගණ හා පහසුකම් කළමණාකරු ගොඩ්ෆ්‍රී දබරේරා මහතා කටයුතු කරයි.

මෙම ක්‍රීඩාංගණයේ තණතිලි 4 කින් යුක්ත අතර පුහුණුවීම් කටයුතු වෙනුවෙන් අමතර පැති විකට්ටු 5කින්ද යුක්ත බව ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (16දා) මෙම ක්‍රීඩාංගණයේ පුහුණුවීම් කටයුතු ආරම්භ කරන අතර නවසීලන්ත තරග සංචාරයට පෙර සතියක කාළයක් මෙහි පුහුණුවීම් කටයුතු සිදුකිරිමට නියමිතය.

Share.

Comments are closed.