ලොව විශාලතම වාර්ෂික ගෝලීය ආහාර සහ පාන සම්භන්​ධ ප්‍රදර්ශනය වන Gulfood, පෙබරවාරි 20 සිට 24 දක්වා ඩුබායි හි ලෝක වෙළඳ මධ්‍යස්ථාන​යේ දී පැවැත්වෙනවා.

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මංඩලය (EDB) විසින් 2008 වසරේ සිට අඛණ්ඩව Gulfood ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාවේ සහභාගීත්වය ලබා දී තිබෙනවා. මෙම වසරේදීත් EDB, ඩුබායි හි ශ්‍රී ලංකා කොන්සල් ජෙනරල් කාර්යාලය සමඟ එක්ව GULFOOD 2023 හි ශ්‍රී ලංකා මණ්ඩපයක් සංවිධානය ​කොට තිබෙනවා. මැදපෙරදිග, ​අප්‍රිකානු සහ දකුණු අසියා කලාපයට (MEASA) ශ්‍රී ලංකාවේ ආහාර සහ පාන නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ අපනයන සමාගම් 28ක් සමඟ සමම ප්‍රදර්ශනයට එක්වෙනවා.

ශ්‍රී ලංකා මණ්ඩපය ෂෙයික් මක්ටූම් සහ ෂෙයික් රෂීඩ් ශාලාවල ලෝක ආහාර අංශයේ පිහිටා තිබෙනවා.

ශ්‍රී ලංකාවේ අපනයන සමාගම් මෙම ප්‍රදර්ශනයට සහභාගී වීමේ ප්‍රධාන අරමුණු වන්නේ ලෝක වෙළඳපොළට සහ විශේෂයෙන්ම MEASA කලාපයට ආහාර සහ පාන නිෂ්පාදනවල සමස්ත අපනයනය ඉහළ නැංවීම, කර්මාන්තයේ බහුතර පාර්ශ්වකරුවන් සමඟ ජාලගත කිරීම, Covid 19 තත්ත්වය හේතුවෙන් නිර්මාණය වූ නව වෙළඳපල අවස්ථා අත්පත් කර ගැනීමයි.

මීට අමතරව ශ්‍රී ලාංකීය සන්නාම ප්‍රවර්ධනය කිරීම, උසස් තත්ත්වයේ සජීවී සම්බන්ධතා ගොඩනගා ගැනීම, අන්තර් ක්‍රියාකාරී අත්දැකීම් ලබා ගැනීම, නව ගැනුම්කරුවන් සමඟ ව්‍යාපාර ගැලපීමේ වැඩසටහන් සංවර්ධනය කිරීම සහ පවතින ගැනුම්කරුවන් සමඟ සබඳතා ශක්තිමත් කිරීමයි.

ශ්‍රී ලංකාවේ අපනයන සමාගම් විසින් මෙම ප්‍රදර්ශනයට යොමු කොට ඇති ශ්‍රී ලාංකික නිෂ්පාදන අතර පොල් ආශ්‍රිත නිශ්පාදන ලෙස පොල් කිරි, පොල්තෙල්, තැඹිලි වතුර, ​ඩෙසිකට් වන අතර මීට අමතරව නැවුම් පළතුරු වර්ග, කුළුබඩු, බිස්කට්, තේ, කිරිපිටි, වියලි පළතුරු, කෝපි, විවිධ නිස්සාරන තෙල් වර්ග, කජු, විනාකිරි හා ටින්මාළු වැනි දේ ඇතුලත් වෙනවා.

Share.

Comments are closed.