හැඳුනුම්පත, පුරවැසිභාවය, රේගු සහ වරාය ආරක්ෂාව සඳහා වන ෆෙඩරල් අධිකාරිය (ICP) දැන් පවුල් ඒකකයක් සඳහා බහු ප්‍රවේශ සංචාරක වීසා ලබා දෙයි.

මීට පෙර, එක් එක් පවුලේ සාමාජිකයන් සඳහා වෙන වෙනම අයදුම් කළයුතුවූ අතර, සෑම කෙනෙකුටම එකම ලේඛන කට්ටලයක් ඉදිරිපත් කළ යුතුය. නමුත් දැන්, ICP වෙබ් අඩවිය පවුල් ඒකකයක් ලෙස අයදුම් කිරීමට විකල්පයක් සපයන අතර එමඟින් ක්‍රියාවලිය විධිමත් කරයි.

ඩුබායිහි පදිංචිකරුවෙකු පැවසුවේ ඔහු තම පවුලේ අය සංචාරයක​ට අයදුම් කරන විට, ඔහුගේ දෙමාපියන් සඳහා වෙනම අයදුම්පත් දෙකක් ගොනු කිරීමට සිදු වූ බවයි. කෙසේ වෙතත්, නව ක්‍රියාවලියට අනු​ව මෙය තවදුරටත් එසේ නොවේ. මෙයින් අදහස් කරන්නේ ඔවුන් කණ්ඩායමක් ලෙස සංචාරය කරන්නේ නම්, පවුල් තවදුරටත් අයදුම්පත් සහ උපකාරක ලේඛන වෙන වෙනම එවිය යුතු නැත.

වසර පහක් සඳහා වලංගු, මෙම වීසා බලපත්‍රය – වයස අවුරුදු 18 ට අඩු දරුවන් සිටින පවුල් සඳහා​ද නිකුත් කර ඇත – ප්‍රතිලාභීන්ට දින 90 නොඉක්මවන අඛණ්ඩ කාලයක් සඳහා UAE හි රැඳී සිටීමට ඉඩ සලසයි. එය වසර තුළ දින 180 කට නොවැඩි කාලයක් සඳහා දීර්ඝ කළ හැක.

සංචාරක නියෝජිතයෙකු පැවසුවේ වීසා සඳහා ඉහළ ඉල්ලුමක් පවති​න නමුත් මෙම නව ක්‍රමය නිසා වීසා නියෝජිත ආයතන වල​ට කාර්යභාරයක් නොමැති බවයි. “එය ICP හි සේවාවක් වන අතර රට තුළ කිසිදු අනුග්‍රාහකයෙකු අවශ්‍ය නොවේ,” ඔහු පැවසීය. “කෙසේ වෙතත්, සංචාරක නියෝජිතායතනවලට මෙවැනි වීසා බලපත්‍රයක් සඳහා කෝටාවක් හෝ එවැනි කිසිවක් නොමැති නිසා, නියෝජිතයෙකු හරහා යාමට වඩා අන්තර් ජාලය හරහා ICP වෙබ් අඩවියෙන් වීසා බලපත්‍රය සඳහා තනි තනිව අයදුම් කිරීම වඩා පහසුයි”

ඉන්දියානු ජාතික රෙහ්නා නසීර් පැවසුවේ තමා සහ ඇගේ පවුලේ 5 දෙනෙකු සඳහා වීසා බලපත්‍රය සඳහා අයදුම් කිරීමේ ක්‍රියාවලිය දැනටමත් සිදුවෙමින් පවතින බවයි. “මගේ සහෝදරිය බලන්න සෑම වසරකම දෙතුන් වතාවක් ඩුබායි යනවා,” ඇය පැවසුවාය. “බහු ප්‍රවේශ වීසා බලපත්‍රයක් තිබීම හරහා අපට සංචාරය කිරීමට අවශ්‍ය සෑම අවස්ථාවකම වීසා බලපත්‍රයක් සඳහා ඉල්ලුම් කිරීමේ සියලු කරදරවලින් නිදහස් කරනු ඇත. සමහර වෙලාවට මගේ දරුවන්ට පාසලෙන් අනපේක්ෂිත නිවාඩුවක් ලැබෙනවා. මේ වීසා එක තියෙනවා නම් අපිට වෙන කිසිම දෙයක් ගැන වද නොවී ගමනක් සැලසුම් කරන්න පුළුවන්.”

අවශ්‍යතා

පවුල් වීසා බලපත්‍රය සඳහා අයදුම් කිරීමට, පහත සඳහන් දෑ ඉදිරිපත් කළ යුතුය:

  • වර්ණ ඡායාරූපයක්
  • විදේශ ගමන් බලපත්‍රයේ පිටපතක්
  • වලංගු වෛද්‍ය රක්ෂණයක්
  • එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පිටවීමට වලංගු ටිකට් පතක්
  • ඇමරිකානු ඩොලර් 4,000 ක බැංකු ශේෂයක් (ආසන්න වශයෙන් ඩිරාම් 14,700 ට සමාන මුදලක්) හෝ විදේශ මුදල්වලින් ඊට සමාන බැංකු ශේෂයක් සහිත පෙර මාස හය සඳහා බැංකු ප්‍රකාශය
  • හෝටලයක් හෝ පදිංචි ස්ථානය පිළිබඳ සාක්ෂි

පිරිවැය

ICP වෙබ් අඩවියට අනුව, වීසා බලපත්‍රය සඳහා ඩිරාම් 3,025 ක ආරක්ෂක තැන්පතුවකට අමතරව ඩිරාම් 750 වැය වේ.

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී ඩුබායි හි සංචාරක ආයතනය පැවසුවේ වැඩි සංචාරකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා වඩා විශාල පරිමාණයෙන් පස් අවුරුදු බහු-ප්‍රවේශ සංචාරක වීසා බලපත්‍රයක් නිකුත් කිරීමට බලධාරීන් සමඟ කටයුතු කරන බවයි. පසුගිය වසරේ ප්‍රකාශයට පත් කරන ලද පුළුල් ප්‍රතිසංස්කරණවල කොටසක් ලෙස මෙම වීසා බලපත්‍රය හඳුන්වා දෙන ලදී.

ඩුබායි හි සංචාරක හා වාණිජ අලෙවිකරණ සංස්ථාවේ ප්‍රධාන විධායක නිලධාරී Issam Kazim සම්මුඛ සාකච්ඡාවකදී පවසා තිබුණේ බහු ප්‍රවේශ වීසා බලපත්‍රය සංචාරකයින් ආකර්ෂණය කර ගැනීම සම්බන්ධයෙන් රටට උපකාරී වනු ඇති බවයි.

Share.

Comments are closed.