2023 වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා ගතවූ කාලය තුළ දකුණු කොරියාවේ රැකියා සඳහා ශ්‍රි ලාංකිකයින් 1678 දෙනෙකු පිටත් කිරීමට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට හැකිවී තිබෙනවා.

ඒ අතරට පළමු වරට දකුණු කොරියාවේ රැකියා සඳහා පුද්ගලයින් 1398ක්ද, හා නියමිත සේවා කාලය අවසන් කර යළි එම ස්ථානයටම රැකියාවට ගිය (Re-entry) පුද්ගලයින් 280ක් අයත් වේ. ඉන් නිශ්පාදන ක්ෂේත්‍රය සඳහා 1490 දෙනෙකු හා ධීවර ක්ෂේත්‍රයේ රැකියා සඳහා 188 දෙනෙකු වෙනවා.

මෙම පිරිස​ට පිරිමි ශ්‍රමිකයින් 1662 දෙනෙකුගෙන් හා කාන්තා ශ්‍රමිකයින් 16 දෙනෙකුගෙන් සමන්විත වෙනවා. කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා මෙම අමාත්‍යධූරයේ රාජකාරි ආරම්භ කිරීමත් සමග ශ්‍රී ලාංකිකයින්ට වැඩි වශයෙන් දකුණු කොරියාවේ රැකියා අවස්ථා ලබාගැනීම සඳහා එරට බලධාරීන් සමග සාකච්ඡා කරන ලද අතර ඒ අනුව එතෙක් මන්දගාමී ස්වරූපයක් ගෙන තිබූ කොරියානු රැකියා සඳහා පිටත්කිරීම, අමාත්‍යවරයාගේ සෘජු මැදිහත්වීමත් සමග එක් සතියකට කණ්ඩායම් කිහිපයක් ලෙස පිටත් කිරිම් ආරම්භ කිරීමට හැකිව තිබෙනවා.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා දකුණු කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුව අතර ඇති කර ගත් අවබෝධතා ගිවිසුම ප්‍රකාරව ශ්‍රි ලාංකිකයින්ට දකුණු කොරියාවේ රැකියා අවස්ථා හිමි වෙනවා. එම අවබෝධතා ගිවිසුම අනුව 2004 වසරේ සිට අඛණ්ඩව මේ දක්වා ශ්‍රි ලාංකිකයින් දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව යන අතර, අද වන විට තරුණ ප්‍රජාව දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව යාමට වැඩි උනන්දුවක් දක්වනවා.

කොරියාවේ රැකියා සඳහා 2023 වසර තුළදී ශ්‍රි ලාංකිකයින් 6500ක පිරිසක් සඳහා දකුණු යොමුකිරීමට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය අපේක්ෂා කරයි.

Share.

Comments are closed.